ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පැට්‍රිස් ලුමුම්බා ඇතුළු විශ්වවිද්‍යාල අනුමත ලේඛනයෙන් ඉවත් කිරීම ගැන 'ඉක්මනින් විසඳුමක් දෙනවා'
- Author, සරෝජ් පතිරණ
- Role, BBC සිංහල
සුප්‍රකට 'පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව සරසවිය' ඇතුළු රුසියාවේ විශ්විද්‍යාල තුනක් අනුමත විශ්වවිද්‍යාල ලේඛනයෙන් ඉවත්කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට ඉක්මන් විසඳුමක් ලබාදීමට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එසේ ප්‍රතික්ෂේප කර තිබෙන්නේ, රුසියාවේ මහජන මිත්‍රත්ව සරසවිය (මීට පෙර ලුමුම්බා සරසවිය) පිරගොෆ් (Piragov) වෛද්‍ය සරසවිය සහ 'ත්වේර්' (Tver) රාජ්‍ය විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධියයි.
වෛද්‍ය සභාවේ තීන්දුව සම්බන්ධයෙන් කනස්සල්ල පළකරමින් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබීමත් සමග ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් දක්වා දුර දිග යා හැකි බවට මාධ්‍ය මගින් පෙන්වා දෙනු ලැබීය.
ඒ පිළිබඳව සඳුදා (සැප්තැම්බර් 14) අමාත්‍යංශයේ බලධාරීන් සාකච්ඡා කළ බව බීබීසී සිංහල සේවයට අනාවරණය කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්, ඉතා ඉක්මනින්ම වෛද්‍ය සභාව කැඳවා සාකච්ඡා කොට විසඳුමකට එළඹීමට බලාපොරොත්තුවන බව ද කියා සිටියේය.
රුසියාවේ ඉහළම පෙළේ විශ්වවිද්‍යාල තුනක් අනුමත ලේඛනයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත දහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පවසා තිබුණේ, එම විශ්වවිද්‍යාල සිය වෙබ් අඩවියේ අනුමත විශ්විද්‍යාල ලැයිස්තුවෙන් ඉවත්කිරීම අත්වැරදීමකින් සිදුවූවක් බවය.
යළිත් වරක් වෛද්‍ය සභාවේ රැස්වීමක් කැඳවා අදාළ තීරණය සම්බන්ධයෙන් පසුවිපරමක් කිරීමට බලාපොරොත්තුවන බව ද මහාචාර්යවරයා සඳහන් කර තිබුණි.
කෙසේ වුවත් වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ මාධ්‍ය වෙත පවසා තිබුණේ ඉතා පුළුල්ව සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු නිසා ඉවත්කළ බවය.
එමෙන්ම වෛද්‍ය සභාවේ එවැනි තීන්දුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලැබිය යුතු නමුත්, වෛද්‍ය සභාව ඉහත කී තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබීමට පෙරාතුව බව බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.
ඒ පිළිබඳ විමසීම පිණිස බීබීසී සිංහල සේවය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ඇමතීමට දින කිහිපයක් මුළුල්ලේ දැරූ උත්සාහය සාර්ථක නොවීය.
රෝහණ විජේවීර
සෝවියට් පාලන සමයේ ආරම්භ කරන ලද හැට වසරකට අධික රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අනුව හැටේ දශකයේ මුල භාගයේ පටන් සෝවියට් දේශය දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කළේය. ඒ අනුව එවක් පටන් ශ්‍රී ලාංකික ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ සෝවියට් දේශයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය විද්‍යාව පමණක් නොව ඉංජිනේරු, කලා සහ සාහිත්‍ය විෂයයන් ද හැදෑරූහ.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර එසේ මුල් යුගයේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ එවැනි එක් ශිෂ්‍යත්ව ලාභියෙකි.
මුල් යුගයේ දී එම ශිෂ්‍යත්ව බොහෝවිට පිරිනැමුණේ සෝවියට් මතවාදයට පක්ෂපාතී පවුල්වල දරුවන්ට පමණක් වුවද, අසූව දශකය පමණ වනවිට එවැනි භේදයකින් තොරව වසරකට සිසුන් 100-150 ක් පමණ සෝවියට් දේශයේ උසස් අධ්‍යාපනය ලැබීමේ වරම් ලැබූ බවට තක්සේරු කෙරේ.
ඒ සියලු දෙනාගේ අධ්‍යාපන පිරිවැය පමණක් නොව නිවාස සහ ආහාර, පාන වෙනුවෙන් ද සියලු වියහියදම් දරනු ලැබුවේ සෝවියට් ආණ්ඩුව විසිනි.
ශීත සමයේ සහ ගිම්හානයේ නිවාඩු මාසවල සෝවියට් සමූහාණ්ඩුවල වියදමෙන් විනෝද චාරිකා යාමට හෝ නිවාඩු නිකේතනවල නිවාඩු ගතකිරීමට ද විදේශීය සිසුන්ට අවස්ථාව සැලසිණ.
සිසුන්ගේ මුල් වසරේ ශීත කාලය සඳහා අවශ්‍ය හිම කබා ඇතුළු ශීත ඇඳුම් කට්ටල සඳහා ද සෝවියට් බලධාරීහු වෙනම මුදලක් ලබා දුන්හ.
සෝවියට් දේශය බිඳ වැටී, නව රාජ්‍යයන් 15 ක් බිහිවීමෙන් අනතුරුව එසේ ශිෂ්‍යත්ව ලබාදීම නතර කෙරිණ.
ඉන් අනතුරුව පැරණි සෝවියට් දේශයෙන් බෙදී වෙන්වුණු බොහෝ රටවල විශ්විද්‍යාල මුදල් අයකරමින් සිසුන් බඳවාගැනීම ඇරඹීය. ඒ බඳවා ගැනීම් කරනු ලබන්නේ අදාළ විශ්විද්‍යාල විසිනි. ඒ අතරම ඇතැම් විශ්වවිද්‍යාල වාර්ෂිකව සීමිත ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ද ප්‍රදානය කරයි.
'ඔතන තියෙන්නේ කුහකකම'
එවැනි වාතාවරණයක රුසියාවේ ඉහළම පෙළේ විශ්වවිද්‍යාල තුනක් අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට වෛද්‍ය සභාව විසින් ගනු ලැබූ තීරණය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක් වී තිබිණ.
මා සමඟ අදහස් දැක්වූ බොහෝ සෝවියට් උපාධිධාරීන්ගේ මතය වී තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල උපාධිය අවසාන කළ බොහෝ වෛද්‍යවරුන් සෝවියට් දේශය, කියුබාව සහ පෝලන්තය වැනි පැරණි සමාජවාදී කඳවුරේ රටවල උපාධිය හැදෑරූ වෛද්‍යවරුන් දෙස බලන්නේ "ඉතා පහත් ආකල්පයකින්" බවය.
විශේෂයෙන්ම උසස් පෙළ විභාගය හොඳින් සමත් නොවූවන් පවා සෝවියට් දේශයේ දී වෛද්‍ය උපාධිය සඳහා තෝරා ගනු ලබන බව එවැනි විවේචකයන් එල්ලකරන එක් ප්‍රබල චෝදනාවකි.
එහෙත් සෝවියට් ශිෂ්‍යත්ව සඳහා සිසුන් තෝරාගනු ලැබුවේ සහ ඔවුන්ගේ පාඨමාලා තීරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා අධ්‍යාපන බලධාරීන් විසිනි; සෝවියට් බලධාරීන් විසින් නොවේ. කෙසේ වුවත්, අවශ්‍ය නම් සෝවියට් දේශයේ දී සිසුන්ට සිය පාඨමාලාව වෙනස් කළ හැකිව තිබුණ බව ද සත්‍යයකි.
එබැවින් ලෝ පතල ලුමුම්බා විශ්වවිද්‍යාලය ඇතුළු සරසවි කිහිපයක වෛද්‍ය උපාධි අනුමත නොකිරීමට ගෙන තිබෙන තීරණය ද ඉහත කී ආකාරයේ "කුහක ආකල්පයක්" මත පදනම් වූවක් විය හැකි බව පවසන ලොස් ඇන්ජලීස් නුවර හිටපු ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ස්වර්ණා කාන්ති ගුණරත්න බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ තමන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ එම තීරණය දැඩිව හෙලා දකින බවය.
ඇය, යුක්රේනයේ දනේත්ස්ක් නුවර විශ්වවිද්‍යාලයක ආර්ථික විද්‍යා උපාධිධාරිනියකි.
"මගේ යාලුවෝ හිටිය ලුමුම්බා එකේ, මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ. එහෙම උපාධිය ඉවර කරපු ගොඩක් මගේ යාලුවෝ දැන් ඕස්ට්‍රේලියාවේ, ලන්ඩන්වල, කැනඩාවේ වෛද්‍ය සේවයේ ඉන්නවා. සමහරු විශේෂඥ වෛද්‍යවරු," ඇය කියා සිටියාය.
"ඒ හැම තැනම එයාල හොඳට කලර්ස් පෙන්නල තියෙනව. මේක මේ මෙඩිකල් කවුන්සිල් එකේ කුහක කම නිසා කරපු දෙයක්. ලංකාවේ ගොඩක් උපාධිධාරීන් ට්‍රයි කරන්නේ, රුසියාවේ ඉගෙනගත්ත අයට සුදුසු තැන නොදෙන්න."
මහින්දටත් උපාධියක්
ලුමුම්බා විශ්වවිද්‍යාලය අගමැති මහින්ද රාජපක්ෂට පවා ගෞරව උපාධියක් ප්‍රදානය කළ බව පෙන්වා දුන් ස්වර්ණා කාන්ති ගුණරත්න වැඩිදුරටත් කියා සිටියේ, "සෝවියට් දේශය අපේ රටට ලොකු සේවයක් කළා. ඒ වගේ සේවයක් කරපු රටක උපාධිය පිළිගන්නේ නැති එක කුහකකමක්," යනුවෙනි.
අසූව දශකයේ අග භාගයේ සෝවියට් දේශයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් තනතුර හෙබැවූ අජිත් ධර්මකීර්ති පවසන්නේ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) වෛද්‍යවරුන්ගෙන් 2%ක් පමණ ලුමුම්බා සරසවිය ඇතුළු සෝවියට් විශ්විද්‍යාලවල උපාධිධාරීන් බවය.
"ලංකාවේ ඉඳල විශේෂඥ වෛද්‍යවරු බ්‍රිතාන්‍යයට එනව අවුරුදු දෙකක සීමාවාසික පුහුණුවට NHS එකේ. ඒ සමහරු පුහුණු වෙන්නෙත් සෝවියට් දේශයේ උපාධිය ලබපු දොස්තරවරු යටතේ," දැනට ලන්ඩන් නුවර වාසය කරන අජිත් ධර්මකීර්ති මා සමඟ පැවසීය.
"ලන්ඩන් ඇවිත් එයාල යටතේ පුහුණුවෙන්න හොඳයි හැබැයි රුසියාවේ උපාධිය ලංකාවට නරකයි."
අම්පාර මහ රෝහල
ශ්‍රී ලංකා රුසියානු උපාධිධාරීන්ගේ සංගමයේ උප සභාපති බුද්ධප්‍රිය රාමනායක පවසන පරිදි, රුසියාවේ උසස් අධ්‍යාපනය හැදෑරූ දහසකට වඩා වෛද්‍යවරු දැනට ශ්‍රී ලංකාවේ සේවයේ නිරතව සිටිති.
ඒ අතරින් හැට දෙනෙකු පමණ විශේෂඥ වෛද්‍යවරුන්ය.
කොරෝනාවෛරස වසංගතය සමයේ එය පාලනය කිරීම සම්බන්ධ ප්‍රධානම බලධාරියා වූ හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ශ්‍රී ලංකා රුසියානු උපාධිධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාය.
ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10,000 සහ 12,000 වැනි ඉතා පහළ ස්ථානවල පසුවන නේපාලයේ සහ මැලේසියාවේ විශ්වවිද්‍යාලවලට පවා අනුමැතිය පළකරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව QR ලෝක ශ්‍රේණිගත කිරීම් (QR World University Rankings) අනුව 326 වෙනි ස්ථානයේ පසුවන පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය අනුමත නොකරන්නේ කෙසේ දැයි බුද්ධප්‍රිය රාමනායක විමතිය පළ කරයි.
වෛද්‍ය පුෂ්පා මනිමේන්ද්‍ර, ත්බිලිසි රාජ්‍ය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හමාරකොට දැනට බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් ප්‍රදේශයේ පුද්ගලික සායනයක් පවත්වාගෙන යන වෛද්‍යවරියකි.
සෝවියට් දේශයේ අධ්‍යාපනය ලැබූ බොහෝ වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ ඉතා ඉහළ තනතුරු දරන අතරම, රෝගීන් අතරද ප්‍රබල ජනප්‍රියත්වයක් උසුලන බව ඇය පෙන්වා දෙන්නීය.
ඇය පවසන පරිදි, කොළඹ ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ, ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ මනෝ විද්‍යාඥ ගිහාන් අබේවර්ධන සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාන්තා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ධම්මික සිල්වා වැනි බොහෝ දෙනා සෝවියට් උපාධිධාරීන්ය.
විශේෂඥ මනෝ විද්‍යාඥ ගිහාන් අබේවර්ධන ත්වේර් (මීට පෙර කලිනින්ග්‍රාද්) රාජ්‍ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය අජිත් තෙන්නකෝන් ද සෝවියට් උපාධිධාරියෙකි.
"දැන් බලන්න අර විනාශ වෙලා තිබුණ අම්පාරේ හොස්පිටල් එක 'ෆයිව් ස්ටාර් හෝටලයක්' වගේ රෝහලක් කරපු දොස්තර ලංකාතිලක ජයසිංහ. එයා උපාධිය කළෙත් ලුමුම්බා එකේ," වෛද්‍ය පුෂ්පා මනිමේන්ද්‍ර සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ උපාධිය හැදෑරු බොහෝ වෛද්‍යවරුන් සෝවියට් උපාධිධාරී වෛද්‍යවරයෙක් උසස් තනතුරකට පත්වුවද ඔහුට/ඇයට නිසි ගෞරවය දීමට පැකිලෙන බව ඇයගේ අදහසය.
"ඔතන තියෙන්නේ ඉරිසියාවයි, කුහක කමයි," යනුවෙන් පවසන වෛද්‍ය පුෂ්පා මනිමේන්ද්‍ර, "ලුමුම්බා කියන්නේ ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම විශේෂඥයන් බිහි කරන සැබෑ විශ්වවිද්‍යාලයක්," යනුවෙන් වැඩිදුරටත් කියා සිටියාය.
'නිසි ප්‍රමිතියකට විභාගය තියන්න'
අනිසි ක්‍රමවලින් උපාධිය ලබාගන්නා හෝ සිය ක්ෂේත්‍රයේ එතරම් සාමාර්ථයක් නොදක්වන ඉතා සුලු පිරිසක් ලොව ඕනෑම රටක විශ්වවිද්‍යාලවලින් බිහිවිය හැකිය යන්නත් අසත්‍යයක් නොවේ.
එය ශ්‍රී ලංකාවට මෙන්ම පැරණි සෝවියට් දේශයේ විශ්වවිද්‍යාලවලට ද අදාළ සත්‍යයක් බව සෝවියට් උපාධිධාරී ශ්‍රී ලාංකිකයෝ ද පිළිගනිති.
එබැවින් විතෙප්ස්ක් (Vitebsk) රාජ්‍ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන වෛද්‍ය පූර්වි හේවාපතිරණගේ පවසන පරිදි, විය යුතුව තිබෙන්නේ සෝවියට් විශ්වවිද්‍යාල අනුමත ලැයිස්තුවෙන් ඉවත්කිරීම නොව ලොව ඕනෑම රටක වෛද්‍ය විද්‍යාව හදාරා පැමිණෙන සිසුන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වීමට පෙර පවත්වන විභාගයේ ප්‍රමිතිය වැඩි දියුණු කිරීමය.
බ්‍රිතාන්‍යයේ සර්වාංගයක වෛද්‍යවරියක (GP) ලෙස සේවය කරන ඇය මා සමඟ අදහස් දක්වමින්, "හැම රටකම බැලුවොත් එහෙම විභාගයක් තියෙනව. උදාහරණයක් විදියට එංගලන්තේ PLAB කියල තියෙනව, ඇමෙරිකාවේ තියෙනව. ඕස්ට්‍රේලියාවේ තියෙනව. ඉතින් ලංකාවෙත් හොඳ ප්‍රමිතියෙන් යුත් විභාගයක් තියෙන්න ඕන," යනුවෙන් කියා සිටියාය.
"මගේ අදහස නම් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් recognise කරලා තියෙනව නම් ඒව ලෝකේ හැම තැනම පිළිගන්න වෛද්‍ය විද්‍යාල, වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදුසු විශ්වවිද්‍යාල හැටියට."
එබැවින් විය යුතුව තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ වෛද්‍ය විද්‍යාල ඉවත් කිරීම වෙනුවට, විදේශීය රටක හෝ ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරන සිසු සිසුවියන්ට ඉහළ ප්‍රමිතියෙන් යුත් විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දීම බව වෛද්‍ය පූර්වි හේවාපතිරණගේ අවධාරණය කරන්නීය.
"විභාගය ඉතාමත් හොඳ ප්‍රමිතියකින් සකස් කරලා තියෙනව නම්, හරියට වෛද්‍ය විද්‍යාව හැදෑරුවේ නැති කෙනෙකුට මේ විභාගයෙන් පාස් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම සමත් වෙන්න බැරි කෙනෙකුට වෛද්‍යවරයෙක් විදියට ලියාපදිංචි වෙන්න අවස්ථාව දෙන්න ඕනේ නැහැ."
කියවන්න: