ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා කටයුතු කැබිනට් අමාත්‍යාංශයට මොකද වුනේ?
- Author, දැහැමි රණවීර
- Role, BBC සිංහල
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශයක් බවට පත්කිරීමට නව රජය ගත් පියවර ගැන කැබිනට් මණ්ඩලය පත් කළ අවස්ථාවේ බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයට යොමු විය.
අමාත්‍ය මණ්ඩල ව්‍යුහය සම්බන්ධයෙන් 2020.08.09 වෙනි දින ප්‍රකාශයට පත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ කාන්තා හා ළමා කටයුතු සම්බන්ධ කර්තව්‍යයන් දක්වා ඇත්තේ 'කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා' රාජ්‍ය අමාත්‍ය යටතේය.
"ළමා ආරක්ෂණය ජාතික ගැටලුවක් බවට පත්වෙලා තිබෙන මොහොතක මේ විදිහේ කුඩම්මාගෙ සැලකිලි අපිට අනුමත කරන්න බැහැ. රටේ ජනගහනයෙන් 52%ක් සිටින්නේ කාන්තාවන්. ඒ කියන්නේ මිලියන දහතුනක් වැනි ප්‍රමාණයක්. ඒ වගේම මිලියන 5- 6ත් අතර ප්‍රමාණයක් දරුවෝ ඉන්නවා. එතකොට මිලියන 18ක් පමණ කාන්තාවන් සහ ළමුන් අපේ රටේ ජීවත් වෙනවා. මේ මිලියන දහඅටක පුරවැසියන් වෙනුවෙන් තිබුණු එකම අමාත්‍යාංශයත් අහෝසි කරළා. ඒ තිබුණු තත්ත්වයෙනුත් ඉතා අඩු තත්ත්වයකට දැමීම කිසිසේත් අනුමත කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි," ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබුණි.
ප්‍රතිසංවිධානය කරන ලද අමාත්‍යාංශයේ ප්‍රධානත්වය දරණු ලබන්නේ නව රජයේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් විසිනි. කාන්තා හා ළමා සංවර්ධනය සම්බන්ධ කර්තවයන් රාජ්‍ය අමාත්‍යවරයා වන පියල් නිශාන්ත ද සිල්වා යටතේ සිදු කෙරේ.
මෙම වෙනස සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක මාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ, "කාන්තාවන් හා දරුවන්ගේ කටයුතු සෘජුවම වගකිව යුතු රාජ්‍ය අමාත්‍යවරයකුගේ විෂය පථයට යටත් කර එම විෂයයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම රජයේ අරමුණ" බවය.
"කැබිනට් අමාත්‍යාංශයකට විවිධ විෂයයන් දහයක් තිබෙනවා. සමහර විට ඒවා සියල්ලට සම්පූර්ණ අවධානය යොමු වන්නේ නැහැ. නමුත් දැන් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා යටතේ පවතින බැවින් එයට ප්‍රමුඛත්වය ලැබෙනවා. ඔහුට ඉටු කිරීමට ඇත්තේ එක් විශේෂ කාර්යයක් පමණයි. රාජ්‍ය අමාත්‍යවරුන් විසින් ඔවුන් විසින් මෙහෙයවනු ලබන අමාත්‍යාංශයේ තත්වය වැඩිදියුණු විය හැකි ආකාරය පිළිබඳ යෝජනාවක් ඉදිරි මාස තුනත් හයත් තුළ ඉදිරිපත් කිරීමට නියමිතයි," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
ජනාධිපතිට ලිපියක්
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය යළි ස්ථාපිත කළ යුතු බව පවසමින් ළමා හිංසනයට තිත යන ස්වෙච්ඡා සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අහෝසි කොට, පාසල් යටිතල පහසුකම් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන හා අධ්‍යාපන සේවා ලෙස කැබිනට් නොවන රාජ්‍ය අමාත්‍යාංශයක් ඇරඹීම නුසුදුසු පියවරක් බව මෙම ලිපියෙන් පෙන්වා දී තිබේ.
එමෙන්ම, අවම සම්පත් හා සීමිත මැදිහත්වීම් අවශ්‍ය වන කෘෂිකාර්මික බෝග වගා කිරීම් කිතුල්, කජු හෝ බතික් වැනි සුළු කර්මාන්තවලට සමාන තත්වයක් කාන්තාවන් සහ රටේ අනාගතය වන දරුවන් යන දෙපාර්ශවය වෙත ලබා දී ඇති බව` ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
"වාර්තාගත දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ දිනකට ගෘහස්ථ හිංසන සහ ළමා හිංසන අදාළ සිදුවීම් රැසක් වාර්තා වන අතර, කාන්තා රැකියා වියුක්තිය ද ඉතා ඉහළ මට්ටමක පවතිනවා. කාන්තාවන් සහ දරුවන් ආශ්‍රිත නොවිසඳුණු ගැටළු රාශියක් රට තුළ පවතින තත්වයක් තුළ දී මෙලෙස එම අමාත්‍යාංශය තවත් අමාත්‍යාංශයක් යටතට ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක්," ළමා හිංසනයට තිත සංවිධානය පෙන්වා දෙයි.
"අපිව පුදුමයට පත් කරමින් 40 වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට නව රජයක් විසින් කාන්තා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය කැබිනට් මට්ටමේ අමාත්‍යාංශයක විෂය පථයෙන් බැහැර කර තිබෙනවා."
කාන්තා ගැටළු විසඳන්න පිරිමි ඇමති කෙනෙක්
"කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙනත් ආයතනයක් සමඟ ඒකාබද්ධ කිරීම පිළිගන්න බැහැ. වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, නව අමාත්‍යාංශයට කාන්තාවන් හා ළමයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට හැකි වේ යයි අපට බලාපොරොත්තු වෙන්න බැහැ," නීතීඥ ලක්මාලි පෙරේරා පැවසුවාය.
"රටේ බහුතරය වන කාන්තාවන් නියෝජනය කරන්නෙත් පිරිමි ඇමති කෙනෙක්. ඒකෙ ලොකු වරදක් නැහැ, නමුත්, ඔහුට කාන්තා හෝ ළමා ගැටළු සම්පූර්ණයෙන් තේරුම් ගන්න පුළුවන් ද නැත්නම් දැනුම තියෙනව ද කියන එක සෑහෙන ලොකු ප්‍රශ්නයක්."
"අනික් අතට මේ පාර පාර්ලිමේන්තුවට තේරී පත් වුණු කාන්තාවන් දොළොස් දෙනාට මෙවැනි අමාත්‍යාංශයක් බාර දිය හැකි ද යන්නත් ගැටළුවක්. පාර්ලිමේන්තුවට වැඩක් කරන්න පුළුවන් අලුත් මුහුණු තේරී තිබෙනවා. නමුත් වැඩක් ගන්න පුළුවන් අයවද පත් කර තිබෙන්නේ කියන ප්‍රශ්නය පැන නගිනවා."
"මේ කාලයේ ලෝකේ සිදු වුණ පෙරළි නිසා අපේ රටෙත් ගෘහස්ථ හිංසනය විශාල ලෙස වැඩි වුණා. ඒ වගේම ළමා අපචාර දරුණු වෙලා. මීට අමතරව, කාන්තා හා ළමුන්ට බලපාන විශාල ප්‍රශ්න රාශියක් තිබෙනවා. හැබැයි මේ කිසිම ගැටළුවක් විසඳන්න අදාළ අමාත්‍යංශ ඉහළ පුටු දෙකේම කාන්තා පුළුටක් නැහැ. ඒ මදිවට පැහැදිලි ලෙස වගකිව යුතු අමාත්‍යාංශයක් නැහැ. මෙය එක්තරා ආකාරයක වෙනස් කොට සැළකීමක් නැත්නම් මානව හිමිකම් උල්ලංඝනයක්," නීතිඥවරිය තවදුරටත් පැවසුවාය.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මාධ්‍යයට අදහස් දක්වමින් අසා ඇත්තේ, "කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පසුගිය වසර ගණනාවක් තිස්සේ ගත් වැදගත් ක්‍රියාමාර්ගය කුමක්ද?" යනුවෙනි.
මොකක් ද මේ කාන්තා හා ළමා කාර්යාංශය?
1978 දී ජනාධිපති ජේආර් ජයවර්ධනගේ රජය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා කාර්යාංශය පිහිටුවන ලදි. කාන්තා කටයුතු අමාත්‍යාංශය පිහිටුවන ලද්දේ 1997 දීය. දේශපාලනය තුළ කාන්තාවන් සඳහා 25%ක ඉඩක් ලබා දීම කාන්තා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීම මත දියත් වූ ක්‍රියාදාමයකි. පළාත් මට්ටමේ දේශපාලනයට කාන්තාවන්ගේ සහභාගිත්වය වැඩි කිරීම සඳහා පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත 2017 දී පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත. නමුත් මෙය කෙතරම් දුරකට සාර්ථක වූයේ ද යන්න පිළිබඳ විවේචන පවතී.
මේ වන විට, කාන්තා කාර්යාංශය, ළමා ලේකම් කාර්යාලය, සංවර්ධන අංශය, පරිවාස සහ ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, මුල් ළමා විය සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික කාන්තා කමිටුව, ළමයින් සඳහා වූ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ඇතුළු විෂය කරුණු රාශියක් මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.
"තිරසාර සංවර්ධනයකට දායක වන අයිතිවාසිකම් තහවුරු වූ කාන්තා සහ ළමා ප්‍රජාවකින් සමන්විත ශක්තිමත් ජාතියක්," යන්න 2019 වර්ෂයේ දී කාන්තා සහ ළමා කාර්යාංශයේ 'දැක්ම' ලෙස හඳුන්වා දී තිබිණි.
කෙසේ නමුත්, මෙම 'දැක්මේ' අරමුණ එලෙසම ක්‍රියාත්මක වූයේදැයි ගැටළු සහගතය.
රටෙන් 52%කට අවශ්‍ය සේවා සැපයෙනව ද?
ලෝක ආර්ථික සංසදය මගින් එළිදැක්වූ 2020 ගෝලීය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වාර්තාවට අනුව, කාන්තාවන් සහ ළමයින් සඳහා සේවා සැපයීම අතින් ශ්‍රී ලංකාව සිටින්නේ දුර්වල ස්ථානයකය. 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර දර්ශකයේ ස්ථාන දෙකක් පහතට වැටී තිබේ. ශ්‍රේණිගත කිරීම්වලට අනුව රටවල් 153කින් ශ්‍රී ලංකාව සිටින්නේ 102වන ස්ථානයේය.
නව යෞවනියන් ගැබ් ගැනීමේ අනුපාතය ද පසුගිය දශක දෙක තුළ ඉහළ ගොස් ඇති අතර, එය කාන්තාවන් 1000 කට 27 සිට 36 දක්වා වැඩි වී ඇතැයි 2017 දී ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් වාර්තාවක දැක්වේ.
කාන්තා රැකියා ව්‍යුක්තිය, ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය මෙන්ම සම රැකියා අවස්ථා නොලැබීම වැනි ගැටළු රාශියකට ශ්‍රී ලංකාව තවමත් පිළිතුරු සොයමින් සිටියි.
මේ අතර, පසුගිය කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනය කළේය.
"පසුගිය මාස හයට ලංකාවේ ළමා අපයෝජන වාර්තාගත විදිහට දරුණු වෙලා තියෙනවා. මේ විදිහට අපයෝජන වාර්තා වෙලා නැහැ කවදාවත්. පැය දෙකකට වරක් දරුවෙක් අපයෝජනයකට ලක් වෙනවා," ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක සඳහන් කළාය.
නමුත් වසර ගණනාවක් පුරා පවතින මෙම ගැටලුවලට විසඳුම් දීමට කාන්තා හා ළමා අමාත්‍යාංශය දියත් කරන ස්ථීර සාර වැඩපිළිවෙලක් තවමත් ඉඟියක් ලැබී නොමැත.
කාන්තා නියෝජනය
1960 දී ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක තේරී පත් වුව ද, දේශපාලනය තුළ කාන්තා නියෝජනය සැමවිටම පුරුෂයන්ට වඩා පසුගාමී ය. වෙනත් අංශවල, විශේෂයෙන් ආර්ථික කටයුතුවලදී පවා කාන්තාවන් ප්‍රමාණවත් ලෙස නියෝජනය නොවේ. 2018 ලෝක ආර්ථික සංසදයේ වාර්තාවට අනුව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පරතරය සම්බන්ධයෙන් ශ්‍රේණිගත කිරීම්වලින් රටවල් 162 ක් අතරින් ශ්‍රී ලංකාව පසු වන්නේ 86 වන ස්ථානයේය.
"කාන්තා හා ළමා අභිවෘධිය සහ අයිතීන් ගැන කතා කිරීමේ දී ඒවා බටහිර ගැති දේවල්, මාධ්‍ය සංදර්ශන නැත්නම් එන්ජීඕ නඩ වැනි පදනම් විරහිත කතා මතු කරළා පාගා දමනවා. මේ දේවල් නිසා කාන්තා හා ළමා කාර්යාංශයට වෙන් කෙරෙන අරමුදල් පවා තිබෙන්නේ ඉතා අඩු මට්ටමක. ඒ වගේම අමාත්‍යාංශ ඒකාබද්ධ කිරීම යන්නෙන් අදහස් කරන්නේ කාර්ය මණ්ඩලය මාරු වෙන එක. මෙය දැනට පවතින ව්‍යාපෘතිවලටත් බාධා එල්ල වන වැඩක්,"නීතීඥ ලක්මාලි පෙරේරා පැවසීය.
මේ අතර, වර්තමානයේ නිවසට කොටු වී අනේක දුක් විඳින කාන්තාවන් පවා තමන්ට සහ තම දරුවන්ට වන ආසාධාරණ, අපරාධවලට විසඳුම් සෙවීමට ෆේස්බුක් කාන්තා පිටුවල පිහිට පැතීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මේ හේතුවෙන් ඔවුන්ට සිදුවන ආසාධාරණය රටේ වගකිවයුතු ආයතනවලට නොයා වැළලී යන අතර, සමස්ථයක් ලෙස කාන්තා සහ ළමා අයිතීන් සුරැකීම සහ ආරක්ෂාව සැපයීමට වක්‍ර ලෙස බලපාන ගැටළුවක් බවට පත්ව ඇත.
"අනෙක් අතට කාන්තාවන් දැනුවත් කළ යුතුයි රටේ පිළිගත් වගකිවයුතු ක්‍රමවේද ඔස්සේ පිළිතුරු සොයන්න. ඒ විදිහට තමයි මේ බොහෝ ගැටලුවලට බරක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ," නීතීඥවරිය තවදුරටත් පැවසුවාය.