කොරෝනා වෛරසය: ලොක්ඩවුන් ලිහිල් කිරීමෙන් "ඉදිරියේදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්"

lockdown - Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කොරෝනාවෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා සංචරණ සීමා පනවා තිබූ කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක රැසක දෛනික ජන ජිවිතය මැයි මස 11 වන දා සිට යථා තත්ත්වයට පත් කිරීම සදහා මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

පසුගිය දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ, "පවතින තත්ත්වයෙහි වෙනසක් සිදු නොවුණහොත් 11 වන දා ලොක්ඩවුන් ලිහිල් කිරීමක් පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි," බවය.

මැයි 11 වන දා සිට "සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුකූලව රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සියලු සේවා ඇරඹීමට පියවර ගත යුතු බව," ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළාත් ආණ්ඩුකාරවරුන්ට සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

"මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කෙරෙන දිස්ත්‍රික්කවල සංවර්ධන මෙහෙයුම් ඇරඹිය හැකි" බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අතර, "ලබන සතියේ සිට රට තුළ ඇති සෑම පෞද්ගලික ආයතනයක් ම සෞඛ්‍ය උපදෙස්වලට මුල් තැන දෙමින් විවෘත කොට පවත්වාගෙන යාමට, කොරෝනා හෙවත් කෝවිඩ් - 19 වෛරසයෙන් මෙරට වැඩබිම් ආරක්ෂා කර ගැනීම සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පත් කෙරුණු විශේෂ ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක කමිටුව එකඟතාව පළ කළ," බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සිකුරාදා (මැයි 08) සඳහන් කළේය.

සීමා පැනවීම

කොරෝනාවෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සමාජ දුරස්ථකරණය යටතේ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවූයේ, පසුගිය මාර්තු 20 වන දා සිටය.

ලොක්ඩවුන් ලිහිල් කිරීමත් සමඟ පෝලිම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කෙසේ වෙතත්, දිස්ත්‍රික්ක රැසකට අවස්ථා කිහිපයකදී ඇඳිරි නීතිය ඉවත් කෙරුණ ද, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය මාර්තු 20 වන දා සිට මේ දක්වා ම ක්‍රියාත්මක වෙමින් පවතී.

සීමා ඉවත් කිරීමේ පළමු පියවර ලෙස ඉහත කී දිස්ත්‍රික්ක 4 හැර සෙසු දිස්ත්‍රික්කවල ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමට ක්‍රියාමාර්ග ගැනිණි.

මැයි 11 වන දා සිට කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ද සීමා යම් ප්‍රමාණයකින් ඉවත් කිරීමට මේ වන විට අදහස් කර තිබේ.

කොරෝනාවෛරසය පාලනය කිරීම

ශ්‍රී ලංකාවේ මේ වන විට කෝවිඩ් 19 රෝගීන් බවට තහවුරු වූ සංඛ්‍යාව 824 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත බීබීසී සිංහල සේවයට පැවසුවේ, කොරෝනාවෛරසය පාලනය කිරීමෙහි ලා ආණ්ඩුව අසාර්ථක වී ඇති බවයි.

අප්‍රේල් දහනවය වන විට කොරෝනා වෛරසය තුරන් කරන බවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ප්‍රතිඥා දුන් බව සිහිපත් කරන ඔහු, "ආණ්ඩුව රෝගීන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සංඛ්‍යා නිවැරදි නොවන," බවටත් චෝදනා කළේය.

"මම මහනුවර දිස්ත්‍රික්කයේ මේ දවස්වල දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. මම දැක්කා මහනුවර ප්‍රදේශයේ ගොඩක් ගෙවල් තැනින් තැන ලොක්ඩවුන් කරලා," කේඩී ලාල්කාන්ත පැවසීය.

එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේ, රෝගීන් සම්බන්ධ තොරතුරු සඟවා ඇතැයි කිසියම් පුද්ගලයෙකු සතුව තොරතුරු තිබේ නම් ජනාධිපති කාර්ය සාධක බලකායට ද දැනුවත් කොට පොලිස්පතිවරයා ඇතුළු අදාළ අංශවලට පැමිණිලි කළ යුතු බවය.

"නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අනෙක් ලෝකේ සියලුම ආයතන පිළිගන්නවා මේ රටේ සියලුම දත්ත විනිවිද පෙනෙන ආකාරයට හෙළිදරවු කරනවා. වැරදීමක් වුනොත් ඒ වැරදීම පවා නිවැරදි කරන්න පෙළඹෙන වගකිවයුතු රජයක් ලෙස කටයුතු කරන රජයක්," බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

"ප්‍රශ්න ඇති වේවි"

පවතින තත්ත්වය තුළ සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් අබේසිංහගෙන් බීබීසී සිංහල සේවය අදහස් විමසීමක් කළේය.

වෛද්‍ය නිහාල් අබේසිංහ

ඡායාරූප මූලාශ්‍රය, Dr. Nihal Abeysinghe/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, :දැන් සම්පූර්ණයෙන් ආයෙත් රිලීස් කළොත් රෝගීන්ව හොයා ගන්න බැරි වෙනවා කොහෙද මේ ආසාදිත අය ඉන්නෙ කියලා" - වෛද්‍ය නිහාල් අබේසිංහ

ඔහු ප්‍රකාශ කළේ, ආණ්ඩුව ඉදිරියේදී සිදු කිරීමට යන ලිහිල් කිරීම් හරහා "ප්‍රශ්න ඇති විය හැකි" බවය.

"දැන් සාමාන්‍ය මිනිස්සුන්ට රිලීස් කරල බස්වල යන්න පුළුවන් රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවය කරන අයට විතරයි කියලා කිව්වට සාමාන්‍ය ජනතාව ඒක තේරුම් ගන්නෙ නෑනෙ. ඇඳිරි නීතිය නැත්නම් සාමාන්‍ය ජනතාව තමන්ගේ ගමන් යනවා. බස්වලට මිනිස්සු නග්ග ගන්නකොට තෝරල ගන්න බෑ. එතකොට ගැටුම් ඇති වෙනවා. එතකොට ප්‍රශ්න ඇති වෙනවා ඉස්සරහට," වෛද්‍ය නිහාල් අබේසිංහ පැහැදිලි කළේය.

ඔහු පෙන්වා දුන්නේ, නිසි ක්‍රමවේදයක් අනුගමනය කර සීමා ලිහිල් කිරීම කළ යුතු බවය.

"දැන් සම්පූර්ණයෙන් ආයෙත් රිලීස් කළොත් රෝගීන්ව හොයා ගන්න බැරි වෙනවා කොහෙද මේ ආසාදිත අය ඉන්නෙ කියලා. ඒ අදහසින් තමයි රිලීස් එක දිහා බලන්න ඕන. අපි කැටගරයිස් කරගන්න ඕන කාව ද?, කොතැන ද?, කොයි වෙලාවෙ ද? රිලීස් කරන්නෙ කියලා. ඒක තමයි ප්ලෑනින්වල තියෙන්න ඕනෙ. ඔක්කොම ටික එක සැරේ රිලීස් කළොත් සම්පූර්ණයෙන් ම පාලනය කළ නොහැකි තත්ත්වයක් ඇති වෙනවා."

"මුලින්ම ආණ්ඩුව මිනිස්සු බය කරලා ගෙවල්වල රැඳෙවුවා. දැන් කියනවා සාමාන්‍ය ජන ජීවිතය යථාතත්ත්වයට පත් කරනවා කියලා. මේක ජනතාවට ගැටලු සහතග තත්ත්වයක්," වෛද්‍ය නිහාල් අබේසිංහ පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස වී ඇත්තේ, සීමා ලිහිල් කිරීමෙන් පසුව රෝගීන් යම් ප්‍රමාණයකින් ඉහළ යා හැකි හෙයින් ඊට මුහුණ දීමට සෞඛ්‍ය අංශ ශක්තිමත් විය යුතුය යන්නය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා බීබීසී සිංහල සේවයට පැවසුවේ, මේ සඳහා දෛනික රෝග පරීක්ෂා කිරීම් සංඛ්‍යාව 2500ක් දක්වා ඉහළ දැමිය යුතු බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇස්තමේන්තු අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ දෛනික රෝග පරීක්ෂා කිරීම්වල සාමාන්‍යය 1100 පමණ වේ.

"ශ්‍රී ලංකාවේ මේ වෙනකොට කොරෝනාවෛරස් පාලනය සාර්ථක තත්ත්වයක තියෙනවා. ඒත් නාවික හමුදාවේ ඇති වුණ පොකුර තවමත් සක්‍රීයයි කියන එක පේන්න තියෙනවා. මේ පනවා තියෙන සීමා යම් ප්‍රමාණයකින් ලිහිල් කළොත් රෝගීන්ගේ සංඛ්‍යාව යම් ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා දෛනික පරීක්ෂා කිරීම් සංඛ්‍යාව ඇතුළු රෝහල් ක්‍රියාකාරකම් වැඩි කළ යුතුයි. රෝගීන් සංඛ්‍යාව උපරිම ධාරිතාවට වඩා පහළ මට්ටමක පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගත යුතුයි," වෛද්‍ය නවීන් ද සොයිසා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ කරුණු දැක්වීම

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යංශගේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පළිහවඩන පැවසුවේ, සම්පූර්ණයෙන් සීමා ලිහිල් කිරීමක් සිදුනොකරන අතර "කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 5ක් පමණ අවදානම් කලාප ලෙස හදුනාගෙන ඇති," බවය.

"අපි ගොඩක් තැන් ලොක්ඩවුන් රිලීස් කරල තියෙනවා. තාමත් පොඩි ප්‍රදේශ ටිකක් තියෙනවා. ඒවා පාලනය කරගෙන යනවා. ඉස්සරහටත් රෝගීන් වාර්තා වුණොත් ඒ ප්‍රදේශ සීමාවන් යටතේ පවත්වාගෙන යනවා. කොළඹ අපිට තියෙනවා හඳුනා ගත්ත ප්‍රදේශ ඒව අරින්නෙ නෑ. පොඩි ප්‍රදේශ 5ක් විතර තියෙනවා අන්ඩර් ලොක්ඩවුන්."

කෙසේ වෙතත්, සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුව රෝගීන් වාර්තා වුවහොත් අදාළ ප්‍රදේශ සඳහා සංචරණ සීමා පනවන බව ද වෛද්‍ය පබා පළිහවඩන සදහන් කළේය.

"සීමා ලිහිල් කිරීමෙන් ආසාදනය නැවත ඇවිළී යා හැකියි" - ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනාවෛරසයට එරෙහි වර්තමාන සටන ගැන තෘප්තිමත්ව එහි බරපතළකම මග හැරීමෙන් මෙම රෝගය "දීර්ඝ කාලයක් අප සමග සිටිනු" ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රෙයිසස් පසුගිය සතියේදී අනතුරු අඟවා තිබිණි.

ඔහු එහිදී සදහන් කළේ, දැනට ක්‍රියාත්මක වන සීමා ඉවත් කිරීමෙන් ආසාදනය "නැවත ඇවිලී" යා හැකි බවය.