කොරෝනා වෛරසය: "කටකතාවලට රැවටෙන්න එපා!" ; "රෝගීන්ගේ ඥාතීන් කොන් කරන්න එපා!"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කුමුදු ජයවර්ධන
- Role, BBC සිංහල සේවය
කොරෝනාවෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා සිකුරාදා (මාර්තු 13) සිට අප්‍රේල් 20 වන දා දක්වා රජයේ සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව දැනුම් දුන්නේය.
ඔහු ප්‍රකාශ කළේ, පාසල් පළමු වාරයේ නිවාඩුව ලෙස මෙම නිවාඩුව සලකන බවය.
"කොළඹ ආනන්ද විද්‍යාලය ආසන්නයේ දෙමාපියන් පිරිසක් යම් නොසන්සුන්තාවක නිරත වූ" බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා විය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post

ඡායාරූප මූලාශ්‍රය, facebook
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ බ්‍රහස්පතින්දා (මාර්තු 12) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
"කොවිඩ් - 19 රෝගියා ගැන කටකතා පළවෙනව. නවතම කටකතාව තමයි ඒ රෝගියාගෙ පුතාට කොවිඩ් - 19 හැදිල කියල. ඒකෙ කිසිදු සත්‍යතාවයක් නෑ. ඒ පවුලේ සාමාජිකයෝ ඔවුන්ගේ නිවසේදී ම නිරෝධායනයට ලක් කරල තියෙන්නේ. ඔවුන් ඉතා ම හොදින් අපි සමග කටයුතු කරනවා," වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
කොවිඩ් - 19 වැළදුණු රෝගියාගේ පුතුට රෝගය වැළදීමට ඇති සම්භාවිතාව "ඉතා අඩු මට්ටමක පවතින" බව ද ඔහු ප්‍රකාශ කළේය.
"ඒ දරුව ආනන්ද විද්‍යාලයට යන්නෙ. දෙමාපියන් අතර යම් කලබලයක් ඇති වුණා. ඇත්තට ම කලබලයක් මත් නෙවෙයි. මේ දරුවාට රෝගය හැදීමේ සම්භාවිතාව අඩුයි. දරුවට රෝගය හැදෙන්නෙ නෑ කියල ම කියන්න බෑ. ඒ දරුව පාසල් ගිහින් තියනව පෙරේදා දිනයේ. ඒ දරුවාගෙන් වෙන කෙනෙකුට හැදීමේ සම්භාවිතාව ඊට වඩා අඩුයි. පවුලේ අය ඉතා ම හොදින් ඉන්නවා. ඔවුන්ට කිසි ම රෝග ලක්ෂණයක් මතු වෙලා නැහැ."
මේ අතර, එම දරුවාට රෝගය වැළදී ඇති බවට පැතිර යන කටකතාව "මුළුමනින් ම අසත්‍යයක්" බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද නිවේදනය කළේය.
කටකතා පතුරුවන්නන් නීතිය හමුවට
කොරෝනාවෛරසය ආසාදනය වීම් සම්බන්ධව සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.
මේ අතර, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොරෝනාවෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් හදුනාගෙන ඇති බවට ද ව්‍යාජ තොරතුරු සංසරණය වෙමින් පවතින බව ද පොලිසිය පවසයි.
එම තොරතුරු අසත්‍ය බව පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනාවෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයාගේ අනන්‍යතාව හෙළි කිරීම ද සෞඛ්‍ය අමාත්‍යංශය බදාදා (මාර්තු 11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රතික්ෂේප කළේය.
ඔවුන් ප්‍රකාශ කළේ, ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු පමණක් බව දැනුම් දිය හැකි බවය.
එහිදී වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ, මෙවැනි තත්ත්වයන් මතු වූ අවස්ථාවල ඇතැමුන් දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් අත්දැකීම් පවතින හෙයින් රෝගියා පිළිබද වැඩිදුර තොරතුරු හෙළි නොකරන බවය.
"රෝගීන් හෝ ඥාතීන් කොන් කිරීම වැරදියි"
කොරෝනාවෛරසය ආසාදිතයින් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් "කොන් කිරීම කිසිසේත් නොකළ යුතු," බව ධනාත්මක චින්තනය සහ මනෝ චිකිත්සාව පිළිබද කථිකාචාර්ය වෛද්‍ය අමා දිසානායක බීබීසී සිංහල සේවයට පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Ama Dissanayake/Facebook
ඇය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු 'අපේක්ෂිත අවදානම් තත්ත්වයන්' සම්බන්ධයෙන් දැඩි බියක් දක්වන බවය.
"කිසි ම ආකාරයකින් එවැනි පුද්ගලයින් හෝ දරුවන් හෝ පවුලේ සාමාජිකයින් කොන් කරන්න හොද නෑ. ඒ වගේ ම මේ තත්ත්වය ගැන කලබල වෙන්නත් හොද නෑ. මේක සදාචාරසම්පන්න, යහපත් සංස්කෘතියක් තියෙන රටක්. ඒ නිසා ශ්‍රී ලාංකිකයින් විදිහට මේ අවස්ථාවේ එකිනෙකා ගැන සානුකම්පිකව සිතිය යුතුයි," වෛද්‍ය අමා දිසානායක පැවසීය.
මේ තොරතුරු ද දැනගන්න:











