ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස රෝගියා: පැතිරීම වළක්වන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කොරෝනාවෛරසය ශ්‍රී ලංකාව තුළ ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවී ඇති අතර ඔහු මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
52 හැවිරිදි එම පුද්ගලයා ඉතාලි ජාතික සංචාරකයින්ට මග පෙන්වන්නෙකු ලෙස සේවය කර ඇති අතර ඔහුගේ අනන්‍යතාව හෝ පදිංචි ප්‍රදේශය හෙළි කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කෙසේ වෙතත්, ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු බව පමණක් අමාත්‍යංශය සදහන් කළේය.
මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඔහු සංචාරය කළ ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.
"ජාතික ගැටලුවක්"
කොරෝනාවෛරසය මේ වන විට "ජාතික ගැටලුවක්" බවට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ බදාදා (මාර්තු 11) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
"ජාතික ගැටලුවක් මේක. සියලු දෙනා ජාතිය ගැන හිතල වැඩ කරන්න ඕන. මේ තත්ත්වය අවස්ථා හතරක් අනුව සලකා බලනවා. විෂබීජය රටට ඇතුළු වීම, එය පැතිරීම වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ විශාල වශයෙන් රෝගය පැතිරුණොත් ඊට මුහුණ දීම යන අවස්ථා හතරෙන් දැන් දෙවන අවස්ථාවේ අපි ඉන්නේ. වෛරසය පැතිරීම වැළැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා."
යම් හෙයකින් කොරෝනාවෛරසය පැතිර යාම ඉතාලියේ මෙන් වේගවත්ව සිදුවුවහොත් "ඉතා අමාරු තත්ත්වයක් නිර්මාණය වනු ඇති," බව වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

"නිරෝධායන කටයුතුවලට සහය දෙන්න"
මේ අතර, කොරෝනාවෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා නිරෝධායන ක්‍රියාවලිය අත්‍යවශ්‍ය අංගයක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
"රෝගය පැතිර යන රටවල සිට පැමිණෙන සියලු දෙනා නිරෝධායනයට සම්බන්ධ විය යුතුමයි. නිරෝධායන ක්‍රියාවලියේ ප්‍රශ්න තියෙනවා නම් ඒවාට සාධාරණ විසදුම් ලබා දෙන්න පුළුවන්. හැබැයි සමහර අය නිරෝධායනය වීම ප්‍රතික්ෂේප කරල තියෙනවා. නිරෝධායනය කරන්නේ ඔවුන්ගේ ම යහපතටයි."

ඡායාරූප මූලාශ්‍රය, News.lk/Facebook
"එක්සත් රාජධානියේ සෞඛ්‍ය ඇමතිවරියටත් වෛරසය ආසාදනය වෙලා තියෙනවා. අපි දැක්කා සෞඛ්‍ය සේවය අතින් ඉතා දියුණු රටවල මේ වෛරසය පැතිර යාමෙන් පස්සේ සිදුවුණ දේවල්. දියුණු රටවල එහෙම නම් අපේ රටේ පැතිරුණොත් මොන කතා ද?," සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
නිරෝධායනය "රටේ යහපතට පමණක් නෙවෙයි"
කොරෝනාවෛරසය සම්බන්ධයෙන් නිරෝධායන ක්‍රියාවලියට සහභාගි වීමෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් ද ආරක්ෂා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
"නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධවීම යහපත් වෙන්නේ රටේ ජනතාවට විතරක් නෙවෙයි. නිරෝධායනය නොවී ශරීරය තුළ වෛරසය තබාගෙන යමෙක් සිය නිවස වෙත ගියොත් පවුලේ සාමාජිකයින්ට එය ශරීරගත වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ආරක්ෂා කර ගන්න නම් ඔවුන් අනිවාර්යයෙන් ම නිරෝධායනයට සම්බන්ධ විය යුතුයි."

නිරෝධායන ක්‍රියාවලිය
මේ වන විට චීනය, ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවල සිට පැමිණෙන මගීන් නිරෝධායනය සදහා යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබේ.
ඒ අනුව එම මගීන් විෂබීජහරණයකට ලක් කර නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන ගොස් දින 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනේ.
එහිදී දිනකට දෙවරක් බැගින් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂා කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ, නිරෝධායන ක්‍රියාවලිය යුද්ධ හමුදාව සහ යුද්ධ හමුදා වෛද්‍යවරුන් යටතේ සිදු කෙරෙන බවය.
"සංචාර පාලනය කරන්න"
එක් රෝගියෙකු හමුවුව ද, සාමාන්‍ය ජන ජීවිතය අඩාළ කිරීමට රජය කටයුතු නොකරන බව කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසීය..
වෛරසය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් පැවතියහොත් මහජන ඒකරාශී වීම් නතර කිරීමට සිදු වනු ඇතැයි ද පැවසිණි.
මේ අතර, වෛද්‍ය අනිල් ජාසිංහ ඉල්ලා සිටියේ, විදෙස් සංචාර සහ වන්දනා සංචාර ආදියෙහි නිරත නොවී සිටීම වඩා වැදගත් බවය.
මේ තොරතුරු ද දැනගන්න:










