කොරෝනාවෛරසය "වසංගත තත්ත්වයක්" දක්වා වර්ධනය වීමේ අවදානමක්

woman in mask in milan

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කොරෝනාවෛරස් ව්‍යාප්තිය මේ වන විට "තීරණාත්මක ස්ථානයකට" ළගා වී ඇති අතර එය "වසංගත තත්ත්වයක්" දක්වා වර්ධනය වීමේ අවදානමක් මතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් ඝෙබ්‍රියේසස් පවසයි.

ඔහු එම අනතුරු ඇඟවීම කළේ, වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ලොව පුරා රටවල් දැඩි සටනක නිරත වෙද්දීය.

දෙවන දිනටත් චීනයට වඩා වැඩි ආසාදිතයින් පිරිසක් චීනයෙන් පිටත සෙසු රටවලින් වාර්තා විය.

ඉරානය සහ ඉතාලිය, වෛරසය පැතිරයාමේ කේන්ද්‍රීය ස්ථාන බවට පත්ව තිබේ. එම රටවල සිට සංචාරය කරන්නන් මගින් වෛරසය තවදුරටත් පැතිර යමින් පවතී.

health teams in italy

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉතාලියේ මරණ 17ක් වාර්තා වී ඇති අතර ආසාදිත සංඛ්‍යාව 650 දෙනෙකි

මේ වන විට ඉරානයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකුට ම වෛරසය ආසාදනය වී ඇති අතර, වෛරසයට ගොදුරු වූ නවතම පුද්ගලයා වන්නේ, කාන්තා සහ පවුල් කටයුතු පිළිබඳ උප ජනාධිපතිනි මසූමේ එබ්ටෙකාර්ය.

"ලෝකයේ වෙනත් ප්‍රදේශවල සිදුවන්නේ කුමක් ද යන්න පිළිබදව අපේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා," වෛද්‍ය ටෙඩ්‍රෝස් පැවසීය.

ms ebtekar

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරානයේ කාන්තා සහ පවුල් කටයුතු පිළිබඳ උප ජනාධිපතිනි මසූමේ එබ්ටෙකාර්

ගෝලීය දත්ත අනුව මේ වන විට රටවල් 50ක පුද්ගලයින් 80,000කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී තිබේ. පුද්ගලයින් 2800 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් බහුතරය වාර්තා වී ඇත්තේ, චීනයේ හුබෙයි පළාතෙනි.

මේ අතර, සංචාරක සීමා කිරීම් නිසා ව්‍යාපාරික කටයුතු අඩපණ වනු ඇති බවට වන අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ලොව පුරා කොටස් වෙළෙදපොළ පහත වැටී තිබේ.

japan pupils walk home

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජපානය පාසල් වසා දැමීමට තීරණය කර තිබේ.

වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට රටවල් ගෙන ඇති පියවර මොනවා ද?

  • චීනය, හොංකොං, ජපානය සහ ඉරාකය පාසල් වසා දැමීමට තීරණය කර තිබේ.
  • සෞදි අරාබිය විදෙස් වන්දනාකරුවන් රටට ඇතුළු වීම නතර කර තිබේ. මෙම තීරණය ජූලි මාසයේ හජ් වන්දනාවට බලපානු ඇත්දැයි පැහැදිලි නැත.
  • ඉරානය සිය පුරවැසියන්ට දන්වා ඇත්තේ, අනවශ්‍ය සංචාරවල නිරත නොවන ලෙසය. ටෙහ්රාන් ඇතුළු අනෙකුත් නගර ආශ්‍රිතව සිකුරාදා දේව මෙහෙයයන් අවලංගු කර තිබිණි.
  • ඔස්ට්‍රේලියාව චීනයේ සිට පැමිණෙන අමුත්තන්ට පනවා තිබූ සංචාරක තහනම දීර්ඝ කර තිබේ.
  • 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ඉතාලියේ නගර 11ක් නිරෝධායනය කෙරිණි.
  • ග්‍රීසිය සියලු උත්සව අවලංගු කරමින් සිටී.

මේ ගැනත් කියවන්න:

සෙසු රටවල සිදුවන්නේ කුමක් ද?

බ්‍රහස්පතින්දා (පෙබ:27) දිනයේ දී පුද්ගල මරණ 29ක් සහ ආසාදිතයින් 433 දෙනෙකු චීනයෙන් වාර්තා විය.

දකුණු කොරියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 1261ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 12ක් වාර්තා වී තිබේ.

සිංගප්පූරුව පවසන්නේ, 12 හැවිරිදි පාසල් සිසුවෙකු ඇතුළු නව ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වූ අතර, ආසාදිත මුළු සංඛ්‍යාව 96ක් බවට පත්ව ඇති බවය.

ඉතාලියේ මරණ 17ක් වාර්තා වී ඇති අතර ආසාදිත සංඛ්‍යාව 650 දෙනෙකි. ඇල්ජීරියාව, ඩෙන්මාර්ක්, රුමේනියාව සහ ස්පාඤ්ඤය යන යුරෝපා රටවලින් ද ආසාදිතයින් හමුවී තිබේ.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පැවසුවේ, සිය රට "වසංගත තත්ත්වයක් කරා ළගා වෙමින් අර්බුදයකට මුහුණ දෙමින් සිටින," බවය. ප්‍රංශයේ පුද්ගල මරණ 2ක් වාර්තා වූ අතර ආසාදිතයින් සංඛ්‍යාව 38 දෙනෙකි. ලොව වැඩි ම සංචාරකයින් පිරිසක් පැමිණෙන රට ප්‍රංශයයි.

උතුරු අයර්ලන්තයේ පළමු ආසාදිතයා වාර්තා වීමත් සමග එක්සත් රාජධානියේ ආසාදිතයින් සංඛ්‍යාව 16ක් බවට පත්ව තිබේ.

නෙදර්ලන්තයෙන් ද පළමු ආසාදිතයා වාර්තා වී ඇති අතර ඔහු ඉතාලියේ ලොම්බාඩි පළාතේ සංචාරය කළ අයෙකි.

ඉතාලියේ සිට බ්‍රසීලයට පැමිණි පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී තිබූ අතර ලතින් ඇමෙරිකානු කලාපයෙන් ආසාදිතයෙකු වාර්තා වූයේ පළමු වරටය.

මේ අතර, කොරෝනාවෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයින්ගෙන් 14%ක ප්‍රතිශතයකගේ ශරීර තුළ යළිත් වෛරසය සක්‍රීය වී ඇති බව තහවුරු වී ඇතැයි චීන සෞඛ්‍ය බලධාරීහු පවසති.

Skip YouTube post
Google YouTube අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of YouTube post

තවදුරටත් කියවන්න.