ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙක් පවුම් මිලියන ගණනක් වංචා කර සිරගෙට

ඡායාරූප මූලාශ්‍රය, NORTH WALES POLICE
පවුම් මිලියන හයකට (රුපියල් මිලියන 1410) ආසන්න මුදලක් විශුද්ධිකරණය කිරීමට කුමන්ත්‍රණය කළ බව පිළිගත් ශ්‍රී ලංකික සම්භවයක් ඇති පුද්ගලයෙකුට සිර දඬුවම් නියම වී තිබේ.
ශ්‍රී ලංකාවේ උපත ලද බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන 41 හැවිදිරි මයිකල් කිනේන් වසර හතයි මාස අටකට සිරගත කිරීමට වේල්ස්හි අධිකරණයක් නියම කළේය.
මුදල් විශුද්ධිකරණය සහ වංචා චෝදනා තුනකට වරදකරු බව ඔහු පිළිගෙන තිබිණි.
ලන්ඩන්හි පිහිටි ඖෂධ ආයෝජන සමාගමක් වන 'ඇවිලියොන්හි' විද්‍යුත් තැපැල් පද්ධතියට ඇතුළු වී, යම් මුදල් ගෙවීම් කරන ලෙස ඉල්ලා අන් අයට ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩ යැවීම් සිදු කර තිබිණි.
මෙම කාලය ඇතුළත ඇවිලියොන් සමාගම ඇමරිකානු ආයෝජකයෙකු සමග ගනුදෙනුවල නිරත වී සිටියේය.
ඇවිලියොන් සමාගමේ සේවකයන්ට යැවුණු ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩවලින් කියවුණේ නීත්‍යනුකූල කාර්යයන් සඳහා නව බැංකු ගිණුම්වලට මුදල් ගෙවන ලෙසය. ඉන් එක් ගිණුමක් මයිකල් කිනේන්ට අයත් වූවකි.
2018 නොවැම්බර් 2 වන දින ඇවිලියොන් සමාගම ඔහුගේ ගිණුමට ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක් තැන්පත් කර ඇත.
මයිකල් කිනේන්ට අයත් විදෙස් මුදල් ගිණුම් දෙකක් තිබිණි.
2018 නොවැම්බර් 2 සිට 5 දක්වා කාලය ඇතුළත පෝලන්තය, ජර්මනිය, හොංකොං, චීනය සහ මැලේසියාවේ සිටින මයිකල් කිනේන්ගේ අධාරකරුවන් අතර මෙම මුදල බෙදා හැර ඇත.
මයිකල් කිනේන් මෙම ක්‍රියාව "තණ්හාව" නිසා සිදු කර ඇති නමුත් සංවිධානාත්මක ලෙස සිදු කර නොමැති බව තමන් පිළිගන්නවා යැයි විනිසුරු නිකොලා ජෝන්ස් පැවසීය.
"ඔබ මේ මුදල් විශුද්ධිකරණය කිරීමේ ප්‍රධාන භූමිකාවක් සිදු කර තිබෙනවා. ඒ වගේ ම ඉතා සැලකිලිමත්ව මේ විශාල මුදල බැංකු ගිණුම් අතර හුවමාරු කර තිබෙනවා."
"තණ්හාව නිසා ඔබ මෙයට පෙළඹිලා තිබෙනවා. නමුත් ඔබ ඒ ගැන ඇත්තටම පසුතැවිලි වෙන බවක් මට පෙනෙන්නේ නැහැ," විනිසුරුවරිය පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, POLICE PHOTO
ව්‍යාජ ක්‍රම ඔස්සේ අධි මිලැති වාහන මිල දී ගැනීම් ද මයිකල් කිනේන් සැලසුම් කර තිබිණි.
අධ්‍යක්ෂවරයකු ලෙස ඔහුගේ නම පමණක් සඳහන් වෙනත් සමාගමක බැංකු ගිණුම් දෙකකට අදාළ මුදල් තැන්පත් කර ඇත.
'මැජික් ලිලි ලිමිටඩ්' ලෙස හඳුන්වන මෙම සමාගම ඔහුගේ නිවසේ ලිපිනයට ලියාපදිංචි කර තිබිණි.
මෙම සමාගමට අයත් භාණ්ඩ, ගිණුම් වාර්තා නොතිබුණු අතර, කිසිදු ව්‍යාපාරයක නිරත වී හෝ බදු මුදල් ගෙවා නොමැති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
2019 අගෝස්තු 8වෙනි දින තුර්කියේ සිට ලන්ඩන් නුවර ගැට්වික් ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ දී මයිකල් කිනේන් අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු පවුම් 4,550ක් වටිනා Tag Heuer වර්ගයේ අත් ඔරලෝසුවක් පැළඳ සිටි බව පොලිසිය පැවසීය.
එමෙන්ම, ඩුබායිහි සමාගමකට පවුම් 30,000ක් ආයෝජනය කළ බව සඳහන් ලියකියවිලිද ඔහු සතුව තිබී ඇත.
මයිකල් කිනේන්ට අයත් බැංකු ගිණුම් 32ක ලියකියවිලි පොලිසිය මේ දක්වා සොයා ගෙන තිබේ.
මාස 13ක් පුරා පැවති පරීක්ෂණවලින් අනතුරුව පවුම් මිලියන 1.2ක් ඇවිලියොන් ආයතනයට නැවත ලබා දීමට හැකියාව ලැබී ඇත.
"සාධාරණය ඉටු වීම ගැන සතුටු වෙනවා" යැයි පැවසූ ඇවිලියොන් ආයතනය සියලු මුදල් නැවත අය කර ගැනීමට උත්සහ දරණ අතර, සයිබර් ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබා ගනිමින් සිටින බව පැවසීය.
"මෙම නඩුව විසඳීමට අපි හැකි වුණේ අදාළ සමාගම් දෙකේ සහය ලැබුණු නිසා වගේම, ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) මීට සමාන්තරව පැවැත්වූ පරීක්ෂණ සහ මර්සෙයිසයිඩ් (උතුරු වේල්ස්) අධිකරණ සේවාවන්හි වංචා පිළිබඳ විශේෂඥයන්ගේ විශිෂ්ට සහයෝගය නිසයි," පොලිස් නිලධාරී බ්‍රයන් කියර්නි පැවසීය.
මෙම පරීක්ෂණය "බ්ලූ කෝස්ටල් ක්‍රියාන්විතය" ලෙස නම් කර ඇත.








