මියන් කුමාර: 'සතුන්ට වධ හිංසා නොකරන්න, මෙය බුදු දහම නොවේ'

ජල තටාකයක වැතිර සිටින මියන් කුමාර

ඡායාරූප මූලාශ්‍රය, RARE

ඡායාරූප ශීර්ෂ වැකිය, ජල තටාකයක වැතිර සිටින මියන් කුමාර නමැති ඇත් පැටවාගේ ඉදිරි සහ පිටුපස පාද බැඳ දමා ඇති අයුරු
    • Author, සුනෙත් පෙරේරා
    • Role, BBC සිංහල

බෙල්ලන්විල රජමහා විහාරයට අයත් ඇතෙකු වධ හිංසාවන්ට ලක් වන බවට සත්ව ශුභසාධන සංවිධාන චෝදනා කරයි.

ජල තටාකයක වැතිර සිටින මියන් කුමාර නමැති ඇත් පැටවාගේ ඉදිරි සහ පිටුපස පාද බැඳ දමා දණ්ඩකින් පහර දෙන ආකාරයත් ඇත් පැටවා වේදනාවෙන් හඬ දෙන අයුරුත් දැක්වෙන වීඩියෝ පට පසුගිය දිනවල සමාජ ජාල ඔස්සේ සංසරණය විය.

එය ජාත්‍යන්තර මාධ්‍යවල පවා අවධානයට ලක්ව තිබිණි.

බ්‍රිතාන්‍යයේ මෙට්‍රෝ වෙබ් අඩවිය එම පුවත වාර්තා කර තිබුණේ, "බෞද්ධ විහාරස්ථානයක් තුළ කෲර ලෙස පහර කෑමට ලක්වන අලියෙක් වේදනාවෙන් මොර දෙයි" යන ශීර්ෂයෙනි. (Elephant howls in pain during cruel beating at Buddhist temple)

ඉහත කී වීඩියෝ පටයට අමතරව මියන් කුමාරගේ ඉදිරි සහ පිටුපස පාද ඇද, බැඳ සිර කර තබා තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූප ද සමාජ ජාල ඔස්සේ දක්නට ලැබිණි.

බෙල්ලන්විල රජමහා විහාරය ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

කවුද මේ මියන් කුමාර?

පහළොස් හැවිරිදි මියන් කුමාර මියන්මාර (බුරුම) රජය විසින් බෙල්ලන්විල රජමහා විහාරයට ලබා දී ඇත්තේ ත්‍යාගයක් වශයෙනි. ඇත් පැටවා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවේ 2013 වසරේදීය.

2018 වසරේදී මියන් කුමාරගේ පහර දීමට ලක්ව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් බරපතළ තුවාල ලබා ඇතැයි වාර්තා විය.

ඉල ඇටවලට බරපතළ හානි සිදුවී රෝහල්ගත කෙරුණු උන්වහන්සේ පසුව අපවත් විය.

ආහාර ලබා දෙමින් සිටියදී ඇතා විසින් බෙල්ලන්විල විමලරතන හිමියන් "අල්ලා ගනු ලැබූ බව" ඇත් ගොව්වා මාධ්‍ය වෙත පවසා තිබිණි.

නමුත් එවැනි පහර දීමක් සිදු වූ බව ප්‍රතික්ෂේප කළ විහාරස්ථාන පාලනාධිකාරිය එවක කියා සිටියේ මහාචාර්ය විමලරතන හිමි ඇත් පැටවාට ආහාර දීමට ගිය අවස්ථාවේ ඇද වැටී තුවාල ලැබූ බවය.

පුදබිමක 'සත්ව හිංසාවක්'

මියන් කුමාරගේ ඉදිරි සහ පිටුපස පාද ඇද, බැඳ සිර කර තබා තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක්

ඡායාරූප මූලාශ්‍රය, Ray of Hope Sri Lanka

ඡායාරූප ශීර්ෂ වැකිය, මියන් කුමාරගේ ඉදිරි සහ පිටුපස පාද ඇද, බැඳ සිර කර තබා තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක්

මියන් කුමාර නමැති හස්තියාට වධ හිංසා පමුණුවන බවට බොරලැස්ගමුව පොලිසිය වෙත පැමිණිලි කරනු ලැබ ඇත්තේ, බෙල්ලන්විල රජ මහ විහාරය වැඳපුදා ගැනීමට පැමිණි තරුණයෙකු විසිනි.

ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා සත්ව ශුභසාධන කණ්ඩායම් පහක් පමණ මේ වන විට ඉදිරිපත් වී ඇති බව සත්ව ශුභසාධනවේදිනියක වන ඉරාකි කොඩිතුවක්කු බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

"පොලිස් පරීක්ෂණයේදී ඇත්ගොව්වෝ දෙන්නයි, පන්සලේ අලි භාරව සිටින පුද්ගලයයි දිගින් දිගට ම කිව්වේ මියන් කුමාර හරි මුරණ්ඩුයි, හීලෑ කර ගන්න අමාරු සතෙක්. ඒ නිසයි පහර දෙන්නේ කියලා ඔවුන් පිළිගත්තා."

"ඒ ගොල්ලෝ කිව්වේ අපි ළමයි හදන්නෙත් ගහලා, බල්ලෝ හදන්නෙත් ගහලා, ඉතින් මියන් කුමාරත් හදන්නේ එහෙම ගහල තමයි කියල," යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එමෙන් ම බැතිමතුන් විශාල වශයෙන් ගැවසෙන ස්ථානයක ප්‍රචණ්ඩකාරීව හැසිරීමට ඉඩ ඇති ඇතෙකු තබා ගැනීම ඔවුන්ගේ ආරක්ෂාව අනතුරේ හෙලීමක් බව ඉරාකි කොඩිතුවක්කුගේ අදහසයි.

බෞද්ධ පුද බිමක රඳවා තබා ගෙන සතෙකුට වධ හිංසා පමුණුවනවාට වඩා සිය රැහේ සාමාජිකයන් හා වාසය කිරීමට ඉඩ ලබා දෙමින් ඔහු පින්නවල අලි අනාථාගාරයට හෝ රීදීගම උද්‍යානය භාරයට පත් කළ යුතු බව සත්ව ශුභසාධනවේදීන්ගේ මතය වී තිබේ.

බෙල්ලන්විල රජමහා විහාරයේ වත්මන් විහාරාධිකාරී ධම්මරතන හිමියන්ගේ එකඟත්වය පරිදි ඒ සඳහා පියවර නොගන්නේ නම් මියන් කුමාර නිදහස් කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔවුහු පවසති.

මියන් කුමාර වධ හිංසාවට ලක් කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමසීමේදී එහි වැඩවසන හිමිනමක් කියා සිටියේ එවැනි හිංසාවක් සිදු නොවන බවය.

"බෞද්ධ දර්ශනයට පටහැනියි"

සමාධි බුදු රුව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඇත්ත බුදු දහම මෙය නොවෙයි"

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බෞද්ධ හිමිනමක වන පාහියංගල ආනන්ද සාගර හිමි සඳහන් කළේ, ඇත් පැටවාට වධ හිංසාවක් සිදුවන බව පැහැදිලි ලෙස පෙනෙන්නට ඇති බවය. එසේ තිබියදීත් විහාරස්ථානය එකී වධ හිංසාව දිගින් දිගට ම සාධාරණීකරණය කිරීමේ තැතක නිරත වීම බුද්ධ පුත්‍රයෙකු වශයෙන් අනුමත කළ නොහැකි බව උන්වහන්සේ කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"ඒ සතා තිරිසන් සතෙක්, අහිංසකයෙක්. ඒ හිංසාව ඇතුළේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ සතාව හීළෑ කර ගැනීමයි. සංවේදී තැන්වලට ඇනලා, ගහලා හිංසා කළා කියලා ඒ සතා හීළෑ වෙන්නේ නැහැ. මේක නෙමෙයි බුදු දහම කියන්නේ. මෙය ඉතාමත් ගැඹුරක් සහිත බෞද්ධ දර්ශනයට පටහැනි ක්‍රියාවක්."

"ඇත්ත බුදු දහම මෙය නොවෙයි. මේක වාණිජ ලෝකයත් එක්ක හැදුණු පුහු මාන්නයක්. මේ අහිංසක සත්තු ගෙනත් ඔවුන්ට අපමණ වධ හිංසාවක් කරලා තමන්ගේ ලොකුකම, විහාරයේ තියෙන ලොකුකම පෙන්වන්න හදනවා," යනුවෙන් උන්වහන්සේ සඳහන් කළේය.

"මෙවැනි ක්‍රියාකාරකම් මගින් තමයි බුද්ධාගම විනාශ වෙන්නේ. මේ ස්වාමීන් වහන්සේලාට කරුණා, මෛත්‍රිය තිබේ නම්, බුදු දහමේ කියන කරුණාව මෛත්‍රිය 'ප්‍රැක්ටිස්' කර (අභ්‍යාස කර) තිබේ නම්, භාවනා කරලා සිත දියුණු කරලා මෙත්තාව වඩවා තිබේ නම්, මනස දියුණු කර තිබේ නම් මෙය ප්‍රතික්ෂේප කළ යුතුයි,"

මේ අතර, බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්.ජී. සූරියබණ්ඩාර කියා සිටියේ, මියන් කුමාරට වධ හිංසා සිදු කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිය ආයතනය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලීමේ හැකියාවක් පවතින බවයි.

නමුත් යම් කිසි සතෙකුට හිංසාවක් සිදු වන්නේ නම් සත්ව ආඥා පනත යටතේ පොලිසියට ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමේ හැකියාව පවතින බව ඔහු සඳහන් කළේය.

"පෙරහැර සංස්කෘතිය වැනසීමේ තැතක්"

පෙරහැර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "හීළෑ අලි පරපුර නැති කර පෙරහැර සංස්කෘතිය වැනසීමේ" උත්සහයක් - හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමය

හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා ඇත්ගොව්වෙකු හෝ අලියෙකුට හිංසාවක් කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බවය.

මියන් කුමාරට පහර දුන් බව කියන ඇත්ගොව්වන් සම්බන්ධයෙන් සොයා බලා නිසි පියවර ගැනීමට සිය සංගමය මැදිහත් වන බව ඔහු පැවසීය.

"එහෙම නැති නම් ඒක අපිට නරක නාමයක්. එක් ඇත්ගොව්වෙක් කරන දේකින් සමස්ත ඇත්ගොව්වන්ට වගේ ම අලි හිමියන්ටත් නරක නාමයක් එනවා."

ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල සතුන් හීළෑ කර ගැනීම සඳහා විධාන ලබා දීමේ ක්‍රමවේදයක් (Commanding system) යොදා ගනු ලබන බව පවසන ඔහු බටහිර රටවල ඒ සඳහා යොදා ගනු ලබන්නේ සතාට රස අහරක් ලබා දී යම් ක්‍රියාවක් සඳහා හුරු පුරුදු කිරීමේ ක්‍රමවේදයක් (Rewarding system) බව පෙන්වා දෙයි.

කෙසේ නමුත් "හීළෑ අලි පරපුර නැති කර පෙරහැර සංස්කෘතිය වැනසීමේ" උත්සහයක් ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බවට ද ඔහු චෝදනා කරයි.

ටිකිරි සහ කලණ

ටිකිරිගේ වයස අවුරුදු හැත්තෑවක් පමණ වෙතැයි විශ්වාස කෙරේ

ඡායාරූප මූලාශ්‍රය, Saengduean Lek Chailert

ඡායාරූප ශීර්ෂ වැකිය, ටිකිරි නමැති මහලු ඇතින්න
Tikiri the elephant

ඡායාරූප මූලාශ්‍රය, Save Elephant Foundation

ඡායාරූප ශීර්ෂ වැකිය, පෙරහැරේ ගමන් කළ ටිකිරි
ටිකිරි

ඡායාරූප මූලාශ්‍රය, හර්ෂණ කසුන් මිල්ලතේ/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇතින්න ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී ඇද වැටී ඇති බව පරිසරවේදීන් සහ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් පැවසූ අතර, ඇයට ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරු සඳහන් කළේ ඇතින්න "නිදා ගැනීම සඳහා බිම වැතිර සිටි" බවකි

ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිත සංස්කෘතික කටයුතු සඳහා යොදා ගනු ලබන අලි ඇතුන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා සමාජයේ දැඩි අවධානයක් යොමු විය.

2019 අගෝස්තු මස පැවති ශ්‍රී දළදා මාලිගයේ විෂ්ණු දේවාලයේ පෙරහැර සඳහා ටිකිරි නමැති වයෝවෘද්ධ ඇතින්නක් යොදා ගැනීම ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක් විණි.

රෝගී තත්ත්වයේ පසු වූ බව කී ඇතින්න වරක් දළදා මාලිග පරිශ්‍රයේදීම ඇද වැටී ඇති බවට වාර්තා පළ වූ අතර ඉන් සති කිහිපයකට පසු ඇය මරණයට පත් විය.

දෙවිනුවර විෂ්ණු දේවාලයට අයත් කලණ නමැති හස්තියාට වධ හිංසා සිදු වන බව 2018 වසරේ වාර්තා විය. දේවාලයේ පාලනාධිකාරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ අතර පසුව එම හස්තියා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබිණි.