විපක්ෂනායක ධුරය: එක්සත් ජාතික පක්ෂය තවත් 'අර්බුදයක'

රනිල් සහ සජිත්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙසින් දිවුරුම් දීමෙන් අනතුරුව පුරප්පාඩු වූ විපක්ෂනායක ධුරයට නම් දෙකක් ඉදිරිපත්වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ තවත් අර්බුදයක් හටගෙන ඇති හැඩක් දක්නට ලැබේ.

ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීමත් සමඟ අගමැති පදවියෙන් ඉල්ලා අස් වූ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස නම් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා විසින් කථානායක කරු ජයසූරිය වෙත ලිපියක් යොමු කරනු ලැබ තිබේ.

Skip Facebook post, 1

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 1

පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි වුවද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන බව පවසමින් රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (නොවැම්බර් 21) අගමති පදවියෙන් සමුගත්තේය.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කථානායකවරයා අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා යොමු කළ ලිපිය කිය වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ ශාන් විජේතුංග නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස පත් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද ලිපියක් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේ කථානායකවරයා වෙත භාර දී තිබේ.

ඒ අවස්ථාවේ දී අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා තෝරා ගැනීම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විෂය පථයට අයත් නොවන බවකි. එය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ විසඳා ගත යුතු අභ්‍යන්තර කරුණක් බවත් කථානායක කරු ජයසූරිය දන්වා තිබේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විරුද්ධ පක්ෂයේ නායකයා පිළිගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් සිටින දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ය. කථානායකවරයා වෙත ඒ බව ලිඛිතව දැන්වීමක් කිරීම අදාළ දේශපාලන පක්ෂයේ මහ ලේකම්වරයාගේ යුතුකම බව, කථානායකවරයා කාරක සභාව හමුවේ අවධාරණය කර ඇත.

කථානායක කරු ජයසූරිය

ඡායාරූප මූලාශ්‍රය, Karu Jayasuriya/FB

විරුද්ධ පක්ෂ නායකයා පත්කිරීම සම්බන්ධයෙන් මීට ඉහතදී කිහිප වතාවක්ම අර්බුද මතු වී තිබේ.

2015 අගෝස්තු මස පැවති මහ මැතිවරණයේ දී කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොමැතිවීම හමුවේ එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණ එක් වී සන්ධාන ආණ්ඩුවක් පිහිටුවනු ලැබිණ.

ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මන්ත්‍රීවරුන් පිරිසක් 'ඒකාබද්ධ විපක්ෂය' නමින් කණ්ඩායමක් පිහිටුවා ගනු ලැබුව ද, ඔවුන් තේරී පත් වී සිටියේ පොදුජන එක්සත් පෙරමුණේ සාමාජිකයන් ලෙසිනි. එබැවින් මහින්ද රාජපක්ෂ විපක්ෂනායක පදවියට පත්කරන මෙන් 'ඒකාබද්ධ විපක්ෂය' කළ ඉල්ලීම කතානායකවරයා පිළිනොගත්තේ පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම්වරයාගෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බැවිනි.

ඒ අනුව එවක ප්‍රධාන විපක්ෂය වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා විපක්ෂනායක පදවියට පත්කෙරිණි.

මීට ඉහතදී වරක් හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක විපක්ෂනායක ධුරය දැරූ සමයේ, ඇය විදේශගතවන අවස්ථාවක අනුර බණ්ඩාරනායක මන්ත්‍රීවරයා වැඩබලන විපක්ෂනායක පදවියට පත්කිරීමට හිටපු අගමැතිනියට අවශ්‍යව තිබිණ.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් නම් කළේ හිටපු කතානායක කේ බී රත්නායක බැවින් වැඩබලන විපක්ෂනායක ලෙස පත්කරනු ලැබුවේ ඔහුය.

සජිත්ගේ රැස්වීම

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා විසින් සංවිධානය කරන ලද රැස්වීමක් සඳහා ඔහුගේ ආධාරකරුවන් පක්ෂයේ 'සිරිකොත' මූලස්ථානයට පැමිණි අවස්ථාවේ එය "දොරගුළු දමා වසා තිබුණු" බවට ඔහුගේ ආධාරකරුවන් පිරිසක් කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් චෝදනා කළහ.

ජනපතිවරණ පරාජයෙන් පසුව තමන්ට සහය දුන් මහජන නියෝජිතයන්ට තුති පිදීම සඳහා සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා විසින් අදාළ හමුව සංවිධානය කර තිබිණ.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා පවසන්නේ, අදාළ උත්සවය කල් දැමීම වඩාත් සුදුසු බවට බදාදා (නොවැම්බර් 20) පැවති එක්සත් ජාතික පක්‍ෂ අමාත්‍ය මණ්ඩල හමුවේ දී "පොදු තීරණයකට" එළැඹි බවය.

එබැවින් "සිරිකොත මන්දිරයේ ගේට්ටු වසා කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොදුන්නේය" යන්න සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක් බව ද මහ ලේකම්වරයා අවධාරණය කරයි.

Skip Facebook post, 2

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 2

කෙසේ වුවත් "සමහර කණ්ඩායම් වෙත පණිවිඩය යැවීමට නොහැකි වීම නිසා පැමිණෙන නියෝජිතයන් වොක්ෂෝල් වීදිය කාර්යාලයේ හමුවීමට කටයුතු යොදන" බව බදාදා රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා දැනුම් දුන් බවත් අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඒ අනුව සිය ජනාධිපති අපේක්ෂකයා හමුවීම පිණිස විශාල පිරිසක් ඔහුගේ වොක්ෂෝල් වීදිය කාර්යාලය ඉදිරිපස රැස්ව සිටියහ.

අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනය
ඡායාරූප ශීර්ෂ වැකිය, අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනය

කෙසේ වුවත් ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසන්නේ, තමන් වෙනුවෙන් ඡන්දය භාවිත කළ මිලියන 5.5 ක ජනතාවට සිරිකොත සිට ස්තුතිය පිදීමට අකිල විරාජ් මන්ත්‍රීවරයා අවස්ථාව සැලසුවේ නම් වඩා යහපත් බවය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ජනපතිවරණ පරාජයෙන් අනතුරුව, රනිල් වික්‍රමසිංහ ඉවත් වී සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට පක්ෂ නායකත්වය ලබා දිය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා සිටිති.

එසේ නොවුවහොත් විකල්පයක් සලකා බැලීමට සිදුවනු ඇති බව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසා තිබුණි.

තමන් පක්ෂයේ නියෝජ්‍ය නායක පදවියෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරණයෙන් පරාජය වූ අවස්ථාවේ සඳහන් කළ නමුත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා එය නිල වශයෙන් පක්ෂයට දැනුම් දී නොමැති බව ඇතැම් වාර්තාවල දැක්වේ.