ජනාධිපතිවරණය සහ කටුවාපිටිය ජනතාව: "මේ රටේ ඉඳලා මොකටද?"

2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පාලනයට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනා ප්‍රධාන සටන් පාඨයක් විය. එම ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ මෛත්‍රිපාල සිරිසේන හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව පැවති ආණ්ඩුවේ ප්‍රබලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව සපත කොට වසර පහක් ගතව තිබේ.

2019 වසරේ අප්‍රේල් 21 වෙනි දින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව මෙවර ජනාධිපතිවරණයේ හැරවුම් ලක්ෂයක් ලෙස සැලකිය හැක්කේ එතෙක් දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් වූ වංචා දුෂණ චෝදනා යට ගොස් ජාතික ආරක්ෂාව දෙසට අවධානය යොමු වූ බැවිනි.

අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් විසින් පාස්කු දින එල්ල කරන ලද ප්‍රහාර මාලාවෙන් 250 අධික පිරිසක් මරණයට පත් වූ අතර ඉන් වැඩි දෙනෙකු කිතුනු භක්තිකයන්ය.

ප්‍රහාරයෙන් අනතුරුව සාමාන්‍ය ජනතාව මෙන්ම කිතුනු ආගමික නායකයන් ද ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම පිළිබඳ දේශපාලනඥයන්ට දෝෂාරෝපණ එල්ල කළහ. විශේෂයෙන් "225 ම ගෙදර යා යුතු බවට" සමාජ ජාල ඔස්සේ ජනමතයක් නිර්මාණය විය.

ප්‍රහාරයෙන් අනතුරුව සිංහල බෞද්ධ ප්‍රජාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශ තුළ මුස්ලිම් විරෝධයක් මතු වූ අතර "මුස්ලිම් අන්තවාදයට" සහාය ලබා ගන්නා බවට එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණේ නායකයන්ට චෝදනා එල්ල විය.

දෙමළ ජනයා වැඩි වශයෙන් වෙසෙන උතුරේ ප්‍රධාන පක්ෂ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහාය ලබා දෙද්දී එළඹෙන ජනාධිපතිවරණයේදී පාස්කු ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ කිතුනු ප්‍රජාවගේ හැසිරීම කෙබඳු විය හැකිද?

මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, පාස්කු ප්‍රහාරයේ ඉලක්ක බවට පත් වූ දේවස්ථාන අතරින් එකකි. පාස්කු ප්‍රහාරයෙන් සය මාසයකට වැඩි කාලයක් ගතවන මේ මොහොතේ ජනාධිපතිවරණය සඳහා කටුවාපිටිය කිතුනු ජනයාගේ සූදානම කෙබඳුද?

"ඡන්දේ,..... ඡන්දේ ගැන මතක් කරන්න එපා. අපි කිව්වේ අපේ ගෙදරට ඡන්දේ ඉල්ලගෙන කාටවත් එන්න එපා කියලයි. මොකද ...ඔක්කොම එකයි."

"මොනා කරන්නද ?...කාටවත් දෙන්නේ නැහැ කොලේ ඉරලා දානවා."

බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ වැඩි දෙනෙකු දැක්වූයේ එවැනි ප්‍රතිචාරයකි.

පැවති මැතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා තම ප්‍රදේශය වෙත වැඩි පිරිසක් නොපැමිණි බව ද ඔවුහු පැවසූහ.

අදහස් දැක්වූ ප්‍රදේශවාසීන්ගෙන් වැඩි දෙනෙකු සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිය ද තම නම "ලොකු අකුරෙන්" දමන ලෙස ඒ අතර සිටි මලිත් විමාන පැවසීය.

"කාටවත් ඡන්දේ දෙන්නේ නැහැ. මම කාට හරි දුන්නොත් ඒක වැරැද්දක්. මොකද ආයත් සැරයක් මේ අයට වැරදි කරන්න අවස්ථාවක් ලැබෙනවා. අපිට, හරි හමන් පොලිටීෂන් කෙනෙක් නැහැ ඉස්සරහට යවන්න."

"ඔය කවුරු මොනවා කිව්වත්, කොහොම කිව්වත් ඔය අය එන්නේ අපේ සල්ලි කන්න. අපිට උදව් කරන්න නෙමෙයි. රටට ආදරයට නෙමෙයි, රටට වැඩක් කරන්න නෙමෙයි. ඒ අය එන්නේ රට කන්න. අපෙන් ගන්නවා මිසක් අපිට දෙන්නේ නැහැනේ. අපි රස්සාවක් කළොත් ජීවත් වෙන්න පුළුවන්."

"ලොක්කට එක නීතියක්, පොඩ්ඩට තව නීතියක්"

"නමුත් දැන් ඒකත් අමාරුයි. බලන්න රටේ නීතියක් හරියට ක්‍රියාත්මක වෙනවද කියලා. ඒකත් ලොක්කට එක නීතියක්, පොඩ්ඩට තව නීතියක්."

ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම් කර තිබියදීත් නිසි ක්‍රියාමාර්ග නොගත් පුද්ගලයන්ට එරෙහිව රටේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක නොකිරීම පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූ සමස්ත ජනයාටම කළ අසාධාරණයක් බව ඔහුගේ අදහසය.

"අපි කියන්නේ නැහැ වගකිවයුතු අය එල්ලලා මරන්න කියලා. නමුත් සධාරණ පරීක්ෂණයක් කරලා මේ අය තමයි මේකට වගකියන්න ඕනෑ කියන එක කියන්න ආණ්ඩුවට වගකීමක් තිබුනා. ආණ්ඩුව හිතා මතාම ඒක මග හැරියා."

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ස්ථාපනය කෙරුණු අතර එහි වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් විය. පූර්ව අනතුරු ඇඟවීම් පිළිබඳ තමන් නොදැන සිටි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසති.

ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු නොකරන්නේ "ආණ්ඩුව" ඊට වගකිව යතු බැවින් යැයි මලිත්ගේ සොහොයුරිය රොශිකා ඈන් විමාන පවසයි.

"ආණ්ඩුව කියලා කියන්නේ, පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම මේකට වගකියන්න ඕනෑ. එක පක්ෂයක් කියලා නැහැ. සියලු පක්ෂ වගකියන්න ඕනෑ. මේ අය මේ සියලු දේ ගැන දැනගෙන ඉඳලා තමයි මුකුත් නොකළේ. ඒකෙන් වුණේ මගේ අම්මා, තාත්තා, අම්මගේ අක්කා අපේ පවුලේ තුන්දෙනෙක් අපිට නැති වීම විතරයි."

"අපි මේ නිසා මේ පාර කිසිම කෙනෙකුට ඡන්දය දෙන්නේ නැහැ," යනුවෙන් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

'රට හැර යන' කටුවාපිටියේ වැසියන්

පාස්කු ප්‍රහාරයෙන් පසු සමාජ ජාල ඔස්සේ දේශපාලනඥයන් විවේචනය කළ ශ්‍රී ලාංකිකයන් සිය අදහස් පළ කිරීමේදී "ඉන්න හිතෙන රටක්" යන උපහාසාත්මක යෙදුමක් භාවිත කරනු පසුගිය දිනවල දක්නට ලැබිණි.

ප්‍රහාරයෙන් සිය දරුවන්, සහකරුවන්, දෙමව්පියන්, සහෝදර සහෝදරියන් අහිමි වූ ඇතැම් පුද්ගලයන් රට හැර යන බව කටුවාපිටිය ප්‍රදේශයේ කළ සංචාරයේදී අසන්නට ලැබිණි.

සිය පුතු සහ මව අහිමි වූ තිස්පස් හැවිරිදි දිස්නා ශ්‍යාමලී ඒ අතරින් එක් අයෙකි. මේ වන විට ඇය විදෙස් ගත වීම සඳහා සූදානම් වන්නීය,

"මාස අටක මගේ පුංචි පුතා මේ බෝම්බෙට බිලි වුණා. මගේ අම්මා බිලි වුණා. ඉතින් මම තවත් මේ රටේ ඉඳලා වැඩක් තියනවද? මම අවුරුදු ගානක් පිට රට ඉදලා ලංකාවට ආවේ මේ ජනවාරි මාසේ. මේකටද මම මේ රටට ආවේ කියලා මට දැන් හිතෙනවා. මම රටම හිටියා නම් මට මේ දේ වෙන්නේ නැහැ."

"ලංකාවේ ඉන්න ආරක්ෂාවක් තියනවද? ඒ නිසයි ආයත් ඉතාලියට යන්නේ. ලංකාව කියන්නේ හරි සුන්දර රටක්. මේ සුන්දර රට දේශපාලකයෝ අසුන්දර කරලා. මේ රට සුන්දර වුණු දවසක ආපහු එන්න පුළුවන්."

ජනාධිපතිවරණයෙන් පසු විදෙස් ගත වීමට දින යොදා ගෙන ඇති බව කී ඇය, "ජන්දේ කාටවත් දෙන්න හිතෙන්නෙත් නැහැ. දුන්නත් වැඩක් නැහැ. ඡන්දෙන් දිනලා එන අයත් ඔච්චරම තමයි කරන්නේ," යනුවෙන් පැවසුවාය.

"අඩුම තරමේ මේ අයට පුළුවන් වුණාද සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න. එහෙම කරන්නේ නැතුව ආයේ ඡන්දේ හිඟා කනවා. ලැජ්ජාවක් නැහැ. ලැජ්ජාව නැති නිසානේ දේශපාලනය තෝරාගෙන තියෙන්නේ," ඇයගේ වේදනාව උද්වේගයකට පෙරලේ.

සෙනහස අහිමි දරුවන්ට මවක් වූ කොන්සි ඉන්ද්‍රානි

කටුවාපිටිය ග්‍රාමයේ දිවි ගෙවන කොන්සි ඉන්ද්‍රානි පාස්කු ප්‍රහාරයෙන් දෙමව්පියන් අහිමි වූ දරුවන් තිදෙනෙකු රැක බලා ගන්නීය.

ඇය මාධ්‍ය වෙත පැමිණීමට අකමැත්තක් දක්වන්නීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සකසන ලද වාර්තා ආවරණය කිරීමට ගිය අවස්ථා කීපයකදීම බීබීසී සිංහල සේවයට කොන්සි ඉන්ද්‍රානි හමු වී ඇතත් ඇය අදහස් දැක්වීමට මැලිකමක් දැක්වූයේ "කතා කිරීමට වචන නොමැති බව" පවසමින්ය.

නමුත් මෙවර අප එහි ගිය අවස්ථාවේ ජනාධිපතිවරණය පිළිබඳ ඇයගෙන් කළ විමසීමට ප්‍රතිචාරයක් ලැබිණි.

"මෙච්චර ලොකු විපතක් වෙලත් කටුවාපිටිය ගමේ එක මුස්ලිම් මනුස්සයෙකුට සිරීම් තුවාලයක් හරි වුණාද? ඒ වෙලාවේ පල්ලිය සියලු දේ ගැන බැලුවා. කාදිනල්තුමා සියලු දේ ගැන බැලුවා. අපිට ඔය දේශපාලකයන්ගෙන් වැඩක් වුණෙත් නැහැ .ඉස්සරහට වැඩක් වෙන්නෙත් නැහැ."

"දේශපාලනඥයන් හිතන්නේ තමන්ගේ පවුල්වල අය ගැන විතරයි. ඒකට හොඳම උදාහරණය තමයි පාස්කු ප්‍රහාරය," ඇය වැඩිදුරටත් කියා සිටියාය.