ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාස්කු ප්‍රහාරයට මාස පහක්: "අනේ මට නංගිගේ මූණ බලන්න බැරි වුණා"
"මගේ නංගි මොනවා තිබුණත් ඉරිදා පල්ලි යනවා. එදා පාස්කු ඉරිදා නිසා එයා හරි ප්‍රබෝධයෙන් සිටියේ. සෙනසුරාදා තිබුණු අවුරුදු උත්සවේ වැඩවලට මම රෑ වෙනකම් මහන්සි වුණා. ඒ නිසා මට පල්ලි යන්න බැරි වුණා. නංගි ගෙදරින් ගියේ උදේ 8.25ට විතර. 8.50ට විතර ආරංචි වුණා පල්ලියේ බෝම්බයක් පිපිරුණා කියලා. අනේ නංගිව හැම තැනම හෙව්වා. කිසිම ආරංචියක් ලැබුණේ නෑ."
මෙසේ බීබීසී සිංහල සේවයට පැවසුවේ වේලුසාමි පුවනේශ්වරී නම් 56 හැවිරිදි කාන්තාවකි.
ඇයගේ සොහොයුරිය වූ වේලුසාමි සරෝජිණී පාස්කු ඉරිදා දින කොච්චිකඩේ දේවස්ථානය තුළ එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මිය ගියාය.
"සමහරු මට කියනවා මම වාසනාවන්තයි කියලා. මොකද මට පල්ලියට යන්න බැරි වුණානේ. අර මිනිස්සු මැරිලා හිටිය හැටියට මොන වාසනාවක් ද? මට මගේ නංගි නැති වුණා."
49 හැවිරිදි දෙදරු මවක වූ වේලුසාමි සරෝජිණී මරුමුවට පත්වීම හේතුවෙන් ඇයගේ දෙවැනි පුතු අසරණ වී සිටී. ඔහු රෝගයකින් පීඩා විඳිමින් සිටී.
මාසයක් යනතුරු ඔවුන්ට සරෝජිණී ගේ සිරුර පවා සොයා ගැනීමට නොහැකි වූ බව පුවනේශ්වරී පැවසුවාය.
ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ විශේෂඥයන් විසින් ඇයගේ වැඩිමහල් පුතුගේ ඩී එන් ඒ ලබාගෙන, එමගින් සරෝජිණී ගේ සිරුර හඳුනා ගෙන ඇත.
"හරියටම මාසෙකට පස්සේ තමයි සිරුර හඳුනා ගත්තේ. සීල් කරපු පෙට්ටියක දාලා දුන්නේ. අනේ මට නංගිගේ මූණ බලන්න බැරි වුණා."
පාස්කු ඉරිදා ප්‍රහාරය:
2019 අප්‍රේල් 21 වැනිදා කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් සහ කොච්චිකඩේ, කටුවාපිටිය සහ මඩකලපුව සියොන් යන දේවස්ථාන ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල විණි.
එම ප්‍රහාර නිසා 250කට අධික පිරිසක් මියගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 500කට අධිකය.
ජෝයි මරියරත්නම් පියතුමාට අප්‍රේල් 21 කිසිදා අමතක නොවන දිනයකි.
ඒ, කොච්චිකඩේ දේවස්ථානය තුළ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන විට දේව මෙහෙය සිදුකරමින් සිටියේ ඔහු බැවිනි.
"ඒ වෙලාවේ දහසකට වැඩිය පිරිසක් දේව මෙහෙයට එක් වෙලා සිටියා," උන්වහන්සේ බීබීසී සිංහල සේවයට පැවසූහ.
"ඒ වෙලාවේ මම හතරවැනි යාච්ඤාව කරමින් සිටියේ. ඒ එක්කම වගේ විශාල ශබ්දයක් ආවා. මම හිතුවේ ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරුවා කියලයි. නමුත් මම දැක්කා ඔළුවක් වම් පැත්තේ ඉඳලා අනිත් පැත්තට උඩින් ගියා. මට එතකොටයි තේරුණේ ඒක මරාගෙන මැරෙන පිපිරීමක් කියලා."
එම පිපිරීමෙන් පසු කෙටිකාලයකදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට හැකි විය.
එහෙත් තවමත් දේවමෙහෙය සඳහා බැතිමතුන්ගේ සහභාගි වීමෙහි අඩුවක් දක්නට ඇති බව ජෝයි මරියරත්නම් පියතුමා පවසයි.
"අපි දැන් සති දෙකකට පෙර බෝම්බ ප්‍රහාරය නිසා ආපදාවට ලක්වූ කට්ටිය හම්බ වුණා. ඒ අයගේ සිත් බිඳිලා තිබෙන්නේ. මට හිතෙන්නේ මිනිස්සු තාම බයෙන් ඉන්නේ. මෑතක දී අපි වෙලන්කන්නි මෑණියන්ගේ දෙව්මැදුරේ මංගල්ලේ තිබ්බා. දේවමාතාව වීථි සංචාරය කෙරෙන පෙරහැරට බැතිමතුන් සහභාගි වුණේ නෑ. ඔවුන් පාර දෙපස සිටිමින් දෙව් මෑණියන්ට නමස්කාර කළේ."
"ඒ ඇති වෙච්ච බය නැතිවෙන්න ටිකක් කල් යයි. දේවමෙහෙය පවත්වන වෙලාවට පොඩි ශබ්දයක් ආවොත් මමත් දැන් තිගැස්සෙනවා."
වන්දි ගෙවීමේ ප්‍රමාදයක්
වන්දි ලබා දීමේදී රජයෙන් පමාවක් ඇති බවට ආපදාවට ලක් වූ පිරිස් දේවස්ථානය දැනුවත් කර තිබෙන බව ද මරියරත්නම් පියතුමා පැවසීය.
"ඇත්ත ආපදාවට ලක් වූ සමහර අයට ඔප්පු කිරීමේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණික ගැටලු. නමුත් මේ වගේ අවස්ථාවක හැම දේම තිතට බලන්න ගියොත් අසරණ මිනිස්සු තවත් අසරණ වෙනවා."
පුවනේශ්වරී පවසන්නේ කොචිකඩේ දේවස්ථානය ඔවුන් ගැන නිතර සොයා බැලුව ද, වන්දි ලබා ගැනීමට රජයේ කාර්යාලයට ඉදිරිපත් කළ ඉල්ලුම් පතට මෙතෙක් පිළිතුරු ලැබී නොමැති බවය.
"අවසන් කටයුතු කරන්න ආණ්ඩුවෙන් රුපියල් 10,000ක් ලැබුණා. දුන්න ෆෝම් එකට තාම උත්තර නෑ. නංගි මැරිලා දැන් මාස පහයි. අසනීප පුතා බලාගන්නේ මම. මට දැන් වයසයි. මම පොඩි රැකියාවක් කරන්නේ. අපිට ඉන්න හිටින්න ස්ථීර ගෙයක් නෑ. මම බයේ ඉන්නේ මට මොනවා හරි වුණොත් මේ අසරණයාට මොනවා වෙයි ද දන්නේ නෑ," පුවනේශ්වරී කීවාය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වින්දිතභාවයට ලක්වූ පුද්ගලයන් වෙනුවෙන් රුපියල් මිලියන 94ක් මානව සංවර්ධනය සඳහා වූ ස්වශක්ති අරමුදලෙන් වෙන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පසුගිය දා නිවේදනය කළේය.
එසේම, පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත හා දේපළ හානි සිදු වූ අය වෙනුවෙන් සියයට 95% ක් වන්දි ලබාදීමට කටයුතු කර ඇතැයි සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සැප්තැම්බර් පස්වෙනිදා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
කියවන්න: