ඇවන්ගාඩ් - දිල්රුක්ෂි හඬ පටය : මෙතෙක් කරුණු

ඡායාරූප මූලාශ්‍රය, Nissanka Senadhipathi
සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඊයේ (සැප්තැම්බර් 24) තීරණය කළේ ඇය සහ ඇවන්ගාඩ් ව්‍යාපාරය හිමි මේජර් නිශ්ශංක සේනාධිපති අතර වී යැයි පැවසෙන දුරකතන සංවාදයක් පිළිබඳ පුළුල් අවධානය යොමුවී තිබෙන පසුබිමකය.
අධිකරණයට අවශ්‍යව සිටින සැකකරුවකු වන ඇවන්ගාඩ් ව්‍යාපාරික මේජර් නිශ්ශංක සේනාධිපති විසින්, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය ද වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සමග කළ දුරකතන සංවාදය ද අඩංගු ප්‍රකාශයක් පසුගිය සතියේ සිංගප්පුරුවේ සිට සමාජ මාධ්‍යයට මුදාහරිනු ලැබිණි.
රෝගී තත්ත්ව හේතුවෙන් තමන් මේවන විට සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබන බව එහිදී පැවසූ නිශ්ශංක සේනාධිපති, තමන්ට අල්ලස් කොමිසම නඩු පැවරුවේ දේශපාලන හේතුන් මත බව පැවසීය.
නිශ්ශංක සේනාධිපති නිකුත්කළ හඬ පටයේ සඳහන් කරුණු.
- නිශ්ශංක සේනාධිපති - "ඇත්තටම මැඩම් මේකේ 4000 කගේ විතර රස්සාවල් නැතිවෙලා. ඒ මිනුස්සුන්ට යන්න එන්න නැතිවෙලා.."
- දිල්රුක්ෂි ඩයස් - "මම දන්නවා, මම දන්නවා. මම හිතුවේ නැහැ ව්‍යාපාරයට ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද මේක රටේ තිබුණු හොඳ ව්‍යාපාරයක්. මට නිකමට හරි හිතුන නම් මේ වගේ දෙයක් සිද්ධවෙයි කියලා, ඔයා පිළිගන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ".
- නිශ්ශංක සේනාධිපති - "මට මැඩම් පණිවිඩ දෙකකුත් එව්වා. මට ඒවා හම්බවුනා."
- දිල්රුක්ෂි ඩයස් - "මොක ද මම ජිවිතේට හිතුව නම් මේකෙන් බිස්නස් වැටෙයි කියලා මම ජීවිතේට මේ නඩුව දාන්නේ නැහැ. මේ කරුමක්කාර දේශපාලනය හන්දා.... (පැහැදිලි නොමැත). මම ඔයාගේ ඔෆිස් එකේ තියෙන 7500කට වැඩිය ලියුම් කියවලා තියෙනවා. ඒක හන්ද මම දන්නවා ඔයාගේ නිලධාරීන් නැව්වල ඉන්නකොට එයාලගේ පවුල් බලාගත්තේ කොහොම ද කියලා."
- දිල්රුක්ෂි ඩයස් - "මම ගෝඨාභය රාජපක්ෂට විරුද්ධවත් නඩු දාන්නේ නැහැ. මම ඒ කරපු මුළු මේවා එක ගැන ම දුක්වෙනවා. මම දන්නවා කොහොම ද නීතිය කඩන්නේ කියලත්, නීතිය හදන්නේ කියලත්. ඒ දෙක ම"

ඡායාරූප මූලාශ්‍රය, නිශ්ශංක සේනාධිපති
අදාළ හඬ පටයේ ඇත්තේ තමන්ගේ හඬ බව නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් තනතුර දරන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ බැහැර නොකළාය. ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා එල්ල කර තිබුණේ තමන් සමග කළ සංවාදය විකෘති කළ බවට චෝදනාවකි.

ඡායාරූප මූලාශ්‍රය, Dilrukshi Dias Wickramasinghe/Facebook
සිය ෆේස්බුක් සටහනේ ඇය මතු කර තිබූ ප්‍රශ්න දෙක සඳහා තවමත් නිශ්ශංක සේනාධිපති පිළිතුරු දී නොමැත. කෙසේවෙතත් දිල්රුක්ෂි වික්‍රමසිංහට අදාළ දුරකථන ඇමතුම දී තිබෙන්නේ අමාත්‍ය වජිර අබේවර්ධන බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් චෝදනා කර තිබේ. එයට තවමත් අමාත්‍යවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත.
මෙම හඬ පටය හේතුවෙන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සහාවෙන් ඉල්ලීමක් කෙරිණි. ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවෙකු වන නිශ්ශංක සේනාධිපති සමග දුරකතන සංවාදයක යෙදීමෙන් වෘත්තිය ආචාර ධර්ම කඩ කළේ යැයි ඇයට චෝදනා එල්ලවී තිබේ. ඇය සොලිස්ටර් ජනරාල්වරිය ලෙස මෙතෙක් කළ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් වරයෙක්ද පත්කර තිබේ.
මෙම සිදුවීමෙන් ආණ්ඩුව රාජපක්ෂ පවුලෙන් හා එම පවුලට සම්බන්ධ අයගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම් කරන බව යළිත් තහවුරු වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. එම පෙරමුණ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් මෙන්ම ගෝඨාභය රාජපක්ෂ එරෙහි නඩු හුදෙක්ම පළිගැනීමේ චේතනාවෙන් කළ දේවල් යැයි ඔප්පු වන බවය.

ඡායාරූප මූලාශ්‍රය, දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ
මෙම හඬ පටය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර යළි වාග් සංග්‍රාමයක් මතු කිරීම දක්වා ද වර්ධනය විණි.
"මේ දවස්වල අල්ලස් හා දුෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ නෝනගේ හඬ පටයක් යනවා හැමතැනම. තමුන්නාන්සෙලාට මතකද මම දන්නේ නැහැ අපේ ත‍්‍රිවිධ හමුදාපතිවරු උසාවියට ගෙනිච්ච වෙලාවේ, ආරක්ෂක ඇමති විදියට මගේ අනුදැනුමකින් තොරව මම කරපු කතාවකින් තමයි දිල්රුක්ෂි ඩයස් අධ්‍යක්ෂ ජනරාල් ධුරය දාලා ඉල්ලා අස්වෙලා යන්න ගියේ." යැයි මෑතදී උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.
මාස කිහිපයකට පෙර දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධුරයක් සඳහා පත්කරන ලෙස ඉල්ලා අගමැතිවරයා තමන්ට ලිපියක් එවූ බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
"දාපු නඩු තනිකරම දේශපාලන පලිගැනීම් නඩු. උදේ ඉඳලා හවස 4 වෙනකම් අල්ලස් හෝ දූෂණ කොමිසමේ රාජකාරී කරන දිල්රුක්ෂි ඩයස් මහත්මිය සවස 6 පසු අරලියගහ මන්දිරයේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ රාජකාරි කරනවා. එහෙම තමා වැඩ කෙරුවේ. ඒවා දැනගෙන තමයි මම කිව්වේ මෙයා මේකට සුදුසු නෑ කියලා. වික්‍රමසිංහ මහත්මියට මම කියනවා ඔය හඬපටයේ කියන මේ ජරා දේශපාලනඥයෝ තමයි මට බල කරන්නේ, උපදෙස් දෙන්නේ කියන කතාවේ දී කරුණාකරලා වික්‍රමසිංහ මැතිනිය රටට කියන්න වැරදි විදියට නඩු දාන්න, මිනිස්සු හිරේ දාන්න ඒ ජරා විදියට ඔබට උපදෙස් දුන්න දේශපාලනඥයන් කවුද කියලා පුළුවන්නම් කියන්න කියලා මම වික්‍රමසිංහ මහත්මියට කියනවා." යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනාධිපතිවරයා කළ මේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ ද දැඩි ප්‍රතිචාරයක් දැක්වූ අතර දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධුරයක් සඳහා පත්කරන ලෙස ඉල්ලා නොසිටි බව කියා සිටියේය.
"දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිම පුද්ගලයෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරකට පත් කරන්න යැයි ඉල්ලමින් මම ලිපි යොමුකර නැහැ. ඒ නිසා එවැනි ලිපියක් යොමු කළා කියා නගන චෝදනාව අසත්‍යයක්. මම එය ප්‍රතික්ෂේප කරනවා. දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතුයි. දැනට නීතිපතිතුමා මේ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පරීක්‍ෂණය කඩිනම් කිරීම සුදුසුයි. එවිට බලපෑම් කළ දේශපාලනඥයන් කවුරුන්දැයි හෙළි කර ගැනීමට හැකි වේවි. ඒ වගේම ඒ මහත්මිය නීති විරෝධී කටයුතු කර ඇත්නම් ඒවාත් තහවුරු කර ගැනීමට හැකි වේවි"
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ කිසිදිනක අරලියගහ මන්දිරයේ සේවයේ නොකළ බවද අගමැතිවරයා සඳහන් කළේය. මේ අතර ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දී රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 8 දෙනෙකු නිදහස් කිරීමට ඊයේ (සැප්තැම්බර් 23) අධිකරණය කටයුතු කළේය.
අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබෙන්නේ අල්ලස් කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරයකින් තොරව බැවින් එය නීතිවිරෝධී බව සඳහන් කරමින් මතුකළ විරෝධතාව අධිකරණය විසින් සළකා බලනු ලැබිණි. ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් එම සැකකරුවන්ට එරෙහිව මෙම චෝදනා යටතේ විධිමත් ආකාරයෙන් නඩු පැවරීමේ අයිතිය අල්ලස් කොමිසමට හිමි බව ද අධිකරණය සඳහන් කර තිබේ.
අල්ලස් කොමිසම පැවරු මෙම නඩුවට අමතරව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින්ද කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇත. චෝදනා 7573 ක් යටතේ පවරා ඇති මෙම නඩුව ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිතය.











