'ඉල්ලා අස්වීම භාරදුන්නා': අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ

සිය පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දුන් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පවසයි.

බීබීසී සංදේශය කළ විමසීමකදී ඒ බව සනාථ කළ අධ්‍යක්ෂ ජනරාල්වරිය, ඒ පිළිබඳ වෙනත් කිසිවක් හෙළි කළ නොහැකි බවත් සඳහන් කළාය.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිය ඉල්ලා අස්වීමට හේතු කිසිවක් සඳහන් නොකළ නමුත්, අල්ලස් කොමිසම සහ පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාශයේ ක්‍රියාකලාපය පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

විශේෂයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපතිවරුන් අධිකරණයට 'දක්කමින්' දේශපාලන න්‍යායපත්‍රයක් යටතේ කටයුතු කරන බවට ජනාධිපතිවරයා එම ආයතනවලට ප්‍රබල චෝදනාවක් එල්ල කළේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, හමුදා අත්අඩංගුවට ගැනීම් ගැන ජනපතිගේ නොසතුට

අධ්‍යක්ෂ ජනරාල්වරිය සිය ඉල්ලා අස්වීම භාරදීමට ආසන්නතම හේතුව එය බවයි, විශ්වාස කෙරෙන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇයගේ ඉල්ලා අස්වීම භාරගත්තේද යන්න තවමත් අනාවරණය වී නැත.