පාස්කු දින ප්‍රහාරය: පල්ලියේ නීතිය කඩලා පන්සලට ආවා -ෆාතිමා

Easter attacks Sri Lanka

"මේ වගේ පිරිත් පිංකමකට පන්සලට ආපු පළමු වතාව. මගේ මහත්තයා තමයි අද පළමු පිරිකරේ පූජා කළෙත්. ඒ වගේම පාස්කු දින මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මරණයට පත් ජනතාව සිහිකරලා පන්දමක් දල්වන්න මටත් හැකිවුණා," පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ ගුරුවරියක වන ෆාතිමා නුස්රත් පැවසුවාය.

ඇය සිය පවුලේ අය සමග කල්පිටිය තෙහෙලිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට පැමිණ සිටියාය.

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුව තුන් මසක් සපිරෙන ඊයේ දින (ජූලි 21) රටපුරා විවිධ ආගමික වතාවත් සංවිධාන කර තිබිණි.

කල්පිටිය තෙහෙලිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ද ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකර ආගමික වතාවත් පැවැත්විණි.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය බහුතරය කතෝලිකයන් වුවත් එහිදී බෞද්ධ ආගමික වතාවත් සිදු කෙරුණු අතර එහි පැමිණ සිටි පිරිස සර්ව රාත්‍රික පිරිත් සහ දානමය පිංකමක ද යෙදුණහ.

පිරිත් පිංකම ආරම්භ කිරීමට පෙර පාස්කු දින එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා සිහිකර පන්දම් දල්වනු දක්නට ලැබිණි.

මේ සදහා සියලු ආගම්වලට අයත් පුද්ගලයන් සහ ආගමික නායකයන් එක්වී සිටීම විශේෂත්වයකි.

"අපිව ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්"

Easter attacks Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, "සියලු ආගම්වලට අයත් පුද්ගලයන් සහ ආගමික නායකයන් එක්ව සිටියා"

"අපේ ආගමේ කියලා තියනවා පිරිමි ගැවසෙන ස්ථානවල කාන්තාවන් ඉන්න හොඳ නැහැ කියලා. ඒ නිසයි අපි විශේෂ අවස්ථාවක හැර අපේ පල්ලියට නොයන්නේ . නමුත් අද මේ පිංකමට ආවේ ඒ නීතියටත් පිටුපාලයි . නීතියට වඩා ජාතික සමගිය වැදගත් වෙනවා.

"මේ පුද බිමේ අද සියලු ආගමිකයන් එකතු වෙලා ඉන්නවා . අපි ජාතික සමගිය, ජාතින් අතර සුහදතාව වර්ධනය කරන ඕනෑම වැඩකට එකතු වෙන්න දෙවරක් හිතන්නේ නැහැ. මගේ මහත්තයා පිරිකර පූජා කරන්න පෙර එය අරගෙන ජනතාව අතරට ගියාම මට ලොකු සතුටක් දැනුනා .මම හිතනවා ඒ අයටත් ඒ සතුට දැනෙන්න ඇති කියලා" යැයි ෆාතිමා නුස්රත් පැවසුවාය.

පසුව ඇය වඩාත් බැරෑරුම් හඬකින් පැවසුවේ, "සමහර විට අපේ අය කීප දෙනෙක් අපිව ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. නමුත් මට විශ්වාසයි ඒ කීප දෙනත් වැඩි කල් නොගොස් අපිට එකතු වෙනවා කියලා. මොකද අපිට දැන් අවශ්‍ය ජාතික සමගියයි," යනුවෙනි.

Easter attacks Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, "අද මේ පිංකමට ආවේ ඒ නීතියටත් පිටුපාලයි" - ගුරුවරියක වන ෆාතිමා නස්රත්

කල්පිටියේ බහුතරය

ආර්යන්ගේ එකමුතුවේ කැදවුම්කරු සහ කල්පිටිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන කිහිපයක විහාරස්ථානාධිපති බැඳිවැව දියසේන හිමියන් මෙම ආගමික වතාවත් සංවිධානය කිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කර තිබිණි.

මේ සඳහා කල්පිටියේ පදිංචිකරුවන් බහුතරයක් සහය දුන් බව උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ.

"කල්පිටියේ බහුතරයක් ඉන්නේ කතෝලික හා මුස්ලිම් ආගමික බැතිමතුන්. මම අවුරුදු දහයක් මේ ප්‍රදේශයේ ජිවත් වෙනවා. මේ දෙපාර්ශවය එක්කම කටයුතු කර තිබෙනවා."

"අපි සියලු දෙනාගේ අඩුපාඩු තිබෙනවා, නමුත් අපි සියලු දෙනා මනුෂ්‍යයෝ. සියලු දෙනාගේ තියෙන රුධිරය රතු පාට කියන එක අමතක කරන්න හොඳ නැහැ."

"මම අද මේ වැඩපිළිවෙළ සංවිධානය කළෙත් මේ හැමෝම එකතු කරන්නයි. මොකද මේ වසරේ පාස්කු දින මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයෙන් බලන්න ගත්තා .මේ තත්ත්වය රටකට අහිතකරයි .ගැටලුවක් ඇත්නම් කතාකර විසදාගත යුතුයි," පූජ්‍ය බැඳිවැව දියසේන හිමියෝ පැවසූහ.

"මේ අවුරුද්දේ පාස්කු දිනයේ බෝම්බ ප්‍රහාර එල්ල වුණේ ප්‍රධාන වශයෙන් කතෝලික පල්ලිය ඉලක්ක කරගෙන. නමුත් මිට වසර ගණනාවකට පෙර ජපන්නු කොළඹට බෝම්බ දැම්මේ මුළු රටම ඉලක්ක කර ගෙනයි. "

Easter attacks Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, "අපි සියලු දෙනාගේ අඩුපාඩු තිබෙනවා, නමුත් අපි සියලු දෙනා මනුෂ්‍යයෝ. සියලු දෙනාගේ තියෙන රුධිරය රතු පාට කියන එක අමතක කරන්න හොඳ නැහැ."

"මේ ප්‍රහාර දෙකේම මහා මොළකරුවන් ඉන්නේ පිටරටවල . එදා අපි ජපන්නු එක්ක ජන්මාන්තර වෛරයක් ඇතිකරගත්තේ නැහැ. නමුත් මේ පාර බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ අපේ ඇතැම් ජනතාව මුස්ලිම් ජනතාව එක්ක ජන්මාන්තර වෛරයක් ඇති කර ගත්තා . මුස්ලිම් කඩ වර්ජනය කරන්න පටන් ගත්තා."

"ඔවුන්ගේ ඇදුම් පැළදුම්වලට තහනම් නියෝග දාන්න කිව්වා. මුස්ලිම් විරෝධී රැල්ලක් ක්‍රියාත්මක වුණා. අපි මේ උත්සාහ කරන්නේ මේ රැල්ල ඉදිරියට එන්න නොදී පසු පසට ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එකයි. මේ සිදු කළේ පුංචි දෙයක් . නමුත් මෙවැනි පුංචි පුංචි දේ කිරීම තුළ විශාල වෙනසක් සිදුවෙනවා," යැයි පූජ්‍ය බැඳිවැව දියසේන හිමියන් තවදුරටත් පැවසූහ.

තෙමස සපිරෙන දා කාදිනල් හිමි ප්‍රකාශය

මේ අතර ප්‍රහාරයෙන් තෙමසකට පසු කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඊයේ යළි විවෘත කෙරුණි.

Easter attacks Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මුස්ලිම් අය මේකට වග කියන්න ඕනේ නැහැ. මෙතන දී කියන්න ඕනේ, අපේ නායකයන්ට කොන්ද පණ මදි" -

කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.

නැවත විවෘත වූ දේවස්ථානයේ දිව්‍ය පූජාව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ඇතුළු විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වය මධ්‍යයේය.

මෙහි දී සිය අදහස් ප්‍රකාශ කරමින් කාදිනල් හිමියන් පැවසුවේ, "මේ ප්‍රහාරය නොමග ගිය තරුණයන් පිරිසක් අල්ලාගෙන ජාත්‍යන්තර ඕනෑ එපාකම් පිරිමහන්න, මේ රට අස්ථාවර කරන්න, ඔවුන්ගේ කුමන්ත්‍රණ සාර්ථක කරගන්න, කෝලාහලක් ඇතිකරන්න සිදු කළ ප්‍රහාරයක්," යනුවෙනි.

Easter attacks Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, AshanWijesuriya/St.SebastianFaceBook

ඡායාරූප ශීර්ෂ වැකිය, මියගිය අයගේ නම් කොටා ඇති පුවරුවක් පල්ලිය ඉදිරියේ ස්ථාපිත කර තිබේ

"මුස්ලිම් අය මේකට වග කියන්න ඕනේ නැහැ. මෙතන දී කියන්න ඕනේ, අපේ නායකයන්ට කොන්ද පණ මදි. මෙහෙම නෙමෙයි ඒ අය වැඩ කරන්න ඕනේ. විදේශීය බලවේගවලට මේ රටට අත පොවන්න දෙන්න බැහැ.. මේ භූමියේ සශ්‍රීකභාවය ශක්‌තිමත් කරන්න නායකයෝ අපිට උදව් කරන්න ඕනේ," උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

බලධාරීන් සිය වගකීම ඉටු කළ ආකාරය ගැන ද උන්වහන්සේ සිය දේශනය තුළදී වැඩි දුරටත් අදහස් පළ කළේය.

"ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් තිබුණේ නැහැ. මේ ලැබුණු ඔත්තු මඟ හැරලා අත හැරලා දැම්මා. තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ."

"ඔබ හොඳට ඇවිදගෙන ගිහින් හොඳට ජීවත් වෙච්ච අය දැන් මේ රෝද පුටුවකට, ඇඳකට සීමා වෙලා තියෙන්නේ හිතුවක්කාර, දඩබ්බර, කිසිම ප්‍රතිපත්තියක් නැති නායකයන්ගේ වැරදි වැඩ නිසයි. ඒ නිසා, දැන් කාලය ඇවිත් තියෙනවා මේ ඔක්කොටම ගෙදර යන්න කියන්න." යැයි ද උන්වහන්සේ කියා සිටියේය.

Easter attacks Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, AshanWijesuriya/St.SebastianFaceBook

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් නැවත විවෘත වූ දේවස්ථානයේ දිව්‍ය පූජාවට සහභාගී වූහ

මේ අතර පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් පසු කතෝලික සභාව ක්‍රියා කළ ආකාරය ගැන පූජ්‍ය බැඳිවැව දියසේන හිමියන් ද සිය ප්‍රසාදය පළ කළහ.

කාදිනල් හිමිපාණන්ගේ නායකත්වය, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූ තවත් එක් අවස්ථාවක් බව ද පූජ්‍ය බැඳිවැව දියසේන හිමියෝ පැවසූහ.

"අද ලංකාව ලෝකය ඉදිරියේ මේ තත්වයෙන් ඉන්නේ කාදිනල් හිමිපාණන්ගේ ක්‍රියා කළාපය නිසයි . එක වචනයකින් මුළු රට ගිනි තියන්න තිබුණා .නමුත් එතුමා සෑම විටම කිව්වේ මේ ප්‍රහාරයට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව වගකිවයුතු නැහැ කියලයි. ඒ ප්‍රකාශය තුළ ලෝකය ඉදිරියේ උසස් ජනතාවක් වුනේ කතෝලිකයන් පමණක් නොවෙයි සමස්ත ජාතියයි."

Easter attacks Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, AshanWijesuriya/St.SebastianFaceBook

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයෙන් තෙමසකට පසු යළි විවෘත කළ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය

මේ තොරතුරුද කියවන්න:

අමිහිරි අත්දැකීම

කල්පිටියේ පැවති ආගමික වතාවත්වලට එක්වූ බ්‍රහ්ම ශ්‍රී සෝමසුන්දරම් ත්‍යාගරජා කුරුක්කල්තුමා පැවසුවේ තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් වූ දෙමළ ජනතාව රටේ කොතැනක සිටියත් "කොටි " යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ බවය.

"එදා අපි යාපනේ හිටියත්, කොළඹ හිටියත්, වතුකරේ හිටියත් කොටි ඒ කියන්නේ එල් ටී ටී යීලේබලය ඇලෙව්වා . අද මුස්ලිම් ජනතාවටත් තියෙන්නේ ඒ වගේ තත්වයක් තමයි. එහෙම තත්වයක් තුළ මෙවැනි කටයුතු ඇත්තටම අගය කළ යුතුයි."

Easter attacks Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, සර්ව රාත්‍රික පිරිත් පිංකමක

"දේශපාලනඥයන් සහ මාධ්‍ය"

දේශපාලකයන් විසින් තම අරමුණු ඉටු කර ගැනීම සඳහා ජනතාව පොළඹවනු ලැබීම හේතුවෙන් රටේ ජනවාර්ගික සහ ආගමික ගැටලු නිර්මාණය වූ බව සුලෙයිමාන් ෆවුසුල් රමිෂා පැවසුවාය.

ඇය සිය දරු දෙදෙනාද සමග පිරිත් පිංකම ආරම්භ වීමට පැය කිහිපයකට පෙර මේ විහාරස්ථානයට පැමිණ සිටියාය.

"අද බලන්න රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන දේශපාලකයන් ඉන්නවද කියලා .ඒ වගේම තමයි මාධ්‍යයත්. එකක් එක්කෙනෙකුට කඩේ යද්දී ,තව එකක් තව කෙනෙකුට කඩේ යනවා ."

Easter attacks Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, සුලෙයිමාන් ෆවුසුල් රමිෂා

"දේශපාලකයා, මාධ්‍යය මේ දෙක නිවැරදි පාරට අවොත් අන්න එදාට මේ ප්‍රශ්ණ ඉවරයි. නමුත් අපිට බලන්න ඉන්න බැහැ. අඳුරට රජ කරන්න දෙන්න බැහැ. අපි අද කළේ එක ඉටිපන්දමක් හරි දල්වන එක තමයි . එය මේ අඳුර මකන්න මදි වෙන්න පුළුවන් නමුත් අපි උත්සාහයක් ගන්නවා" යැයි සුලෙයිමාන් ෆවුසුල් රමිෂා පැවසීය.

තවත් තොරතුරු: