රසාක් තස්ලීම් පාස්කු ඉරිදා ප්‍රහාරයේ 'පෙරනිමිති' දුටුවාද?

Mohammad Razak Taslim's family
ඡායාරූප ශීර්ෂ වැකිය, තස්ලීම්ගේ බිරිඳ ජංගම දුරකතනයේ වූ ඔහුගේ ඡායාරූපයක් පෙන්වමින්

පසුගිය පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර සිදුවන විටත් ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමීය සටන්කාමීන් පිළිබඳ ගැටලුවක් ඇතැයි යන්න ඉතාමත් සුළු පිරිසකට වැටහී ගොස් තිබිණි. ඉන් එක් අයෙකු වූ රසාක් තස්ලීම් පිළිබඳ බීබීසියේ සෙකුන්දර් කර්මානි ගෙනෙන වාර්තාවකි මේ.

රෝහල් සයනේ වැතිර සිටින තස්ලීම්ගේ මුහුණේ ඇත්තේ වේදනාවකි. ඔහුගේ සිරුරේ වම් පස අප්‍රාණිකය. නමුත් ඔහු අසල සිටින බිරිඳ සහ ඥාතියෙකු වෙත වාරු වීම සඳහා ඔහු දකුණත දිගු කරයි.

තස්ලීම්ගේ බිරිඳ ෆාතිමා ලේන්සුවක් ඔහුගේ හිස මත තබයි. හිසේ එක් පැත්තක් ඇතුලට නෙරා ඇත. ඒ පසුගිය මාර්තු මස වෙඩි වැදුණු හිස පෙදෙසය. එතැන් සිට ඔහුට කතා කිරීමට නොහැක. ඇවිදීමට බැරිය.

පාස්කු ඉරු දින මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කොට 250 කට අධික පිරිසක් ඝාතනය කළ ඉස්ලාමීය රාජ්‍යට සම්බන්ධ අන්තවාදී ජාලයේ මුලින්ම ගොදුරු බවට පත් පුද්ගලයන් අතරින් තස්ලීම් එක් අයෙකු බව පොලිසිය විශ්වාස කරයි.

බලධාරීන්ට අනුව තස්ලීම්ට වෙඩි තබා ඇත්තේ ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමේ නායකයා වූ සහරාන් හෂීම්ගේ නියෝගයකට අනුවය.

Mohammad Razak Taslim in hospital, with his wife

මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වීමට මාස කිහිපයකට පෙර සිට තිස්හත් හැවිරිදි තස්ලීම් අන්තවාදීන් ගැන විමර්ශන කිරීමට ගත් උත්සාහයන්වල පෙරමුණේ පසු විය. ඔහු බහුතර මුස්ලිම් භක්තිකයන් වෙසෙන මාවනැල්ලේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකි.

රට තුළ අන්තවාදී මත වර්ධනය වැළක්වීම සඳහා මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව ගත් උත්සාහය සහ පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර කරන ලද අනතුරු ඇඟවීම් හඳුනා ගැනීමට බලධාරීන් අපොහොසත් වීම යන කරුණු දෙකම තස්ලීම්ගේ කතාවෙන් පිළිබිඹු වේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී මාවනැල්ල නගරයේ පිහිටි බුද්ධ ප්‍රතිමා ගණනාවකට හානි කර තිබිණි. ප්‍රජා අතර ගැටුම් ඇතිකිරීමේ අරමුණින් එසේ කර ඇති බව බලධාරීහු මේ වන විට විශ්වාස කරති.

තස්ලීම්ගේ බිරිඳ ෆාතිමා සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා මාවනැල්ල නගරයට ආසන්න ගමක ජීවත් වෙති. තස්ලීම් සැමවිට අන් අයගේ ගැටලු ගැනද සොයා බැලු අයෙකු බව ෆාතිමා පවසයි. විශේෂයෙන් ගංවතුර සහ නාය යාම් හමුවේ විපතට පත් පුද්ගලයන්ට ආධාර කිරීම සඳහා දියත් වූ වැඩසටහන්වල ඔහු ඉදිරියෙන් පසු වී තිබේ.

බුද්ධ ප්‍රතිමාවලට හානි කළ විට ද ඒ සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණ සඳහා ඔහු ඉදිරියට පැමිණියේය.

"ඔහු සැමවිටම කිව්වේ විවිධ ජාති සහ ආගම්වලට අයත් මිනිස්සු සමාදානයෙන් ජීවත් වෙන්න ඕනේ කියලා. ඔහු කිව්වා 'ඔවුන් කරපු දේ වැරදියි' කියලා. අපේ ආගම එවැනි දේ අනුමත කරන්නේ නැහැ. එම නිසා ඔවුන් අල්ලා ගත යුතුයි කියන මතයේ තමයි ඔහු හිටියේ," ෆාතිමා පැවසුවාය.

පොලීසිය විසින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ නමුත් නමුත් ප්‍රධාන සැකකරුවන් වූ සදික් සහ ෂහීඩ් අබ්දුල්-හක් අතුරුදහන් විය. ඔවුන් සහෝදරයන්ය.

බෝම්බ ප්‍රහාර වලින් අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණු අතර ඒ සඳහා ඔවුන් සම්බන්ධ වූයේ කුමන ආකාරයකට දැයි යන්න පිළිබඳ පැහැදිලි නොමැත. එම චෝදනා පිළිබඳ විභාග කිරීමට නියමිතය.

A soldier guards a mosque in Colombo in 2018, at the time of the Kandy riots

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2018 වසරේ මහනුවර මුස්ලිම් විරෝධී කෝලාහල හටගත් වකවානුවේ කොළඹ පිහිටි මුස්ලිම් පල්ලියක ආරක්ෂාවට යොදවා සිටි හබුඵා භටයෙක්

සදික් 2014 වසරේදී සිරියාවට ගොස් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් හමු වී ඇතැයි විමර්ශන කණ්ඩායම් විශ්වාස කරති.

දැනට අත්අඩංගුවේ පසුවන සහෝදරයින් දෙදෙනා සමග සමීප සම්බධතා පැවැත්වූ නම හෙළි කිරීමට අකමැති වූ පුද්ගලයෙකු කියා සිටියේ "ශ්‍රී ලංකාව අල්ලා ගේ භුමිය බවත් වෙන කිසිවෙකු වැඳුම් පිදුම් කළ නොහැකි බවත් මුස්ලිම් නොවන අය එම ආගමට හැරීම හෝ ජිස්රා නමින් හැඳින්වෙන ඉස්ලාමීය බදු ගෙවිය යුතු බවටත්" ඔවුන් දේශනා කරනු ඇති බවය.

එම සහෝදරයින්, ආගමට ලැදි පවුල් පසුබිමක් සහිතය. ඔවුන් නිතරම ජිහාඩ්වාදය පිළිබඳ අධ්‍යාත්මික වශයෙන් සහ සන්නද්දමය හැගීමකින් කථා කළ බව ඔවුන්ගේ මිතුරා පැවසීය.

සොහොයුරන් දෙදෙනාගේ ඥාතියෙකු පැවසුවේ තමන් නිතරම ඔවුන් දෙදෙනා සමග වාද කරමින්, "භීෂණය සහ දැඩි හැසිරීම් රටා ඉස්ලාම් ආගමේ පිළිනොගන්නා බව" පෙන්වා දුන් බවය. ඔවුන් ඒ වනවිට මුස්ලිම් ශිෂ්‍ය සංවිධානයකට සම්බන්ධව කටයුතු කර තිබේ. පසුව එම සංවිධානය විසින් සහෝදරයින් දෙදෙනාව නෙරපා හැර ඇත.

2018 වසරේදී මහනුවර දිගන ප්‍රදේශයේ බෞද්ධ කලහකාරීන් විසින් මුස්ලිම් ජනයාගේ නිවාස සහ කඩ සාප්පුවලට හානි කිරීම එම සහෝදරයින් දෙදෙනාට දැඩිව බලපෑ බව එම ඥාතියා පැවසීය.

සදික් අබ්දුල් හක් එහිදී පවසා ඇත්තේ, "ඔවුන් අපේ ජීවිත, දේපල නැති කරනවා...අපි මොනවා හරි කළ යුතුයි," යනුවෙනි.

අබ්දුල් හක් සහෝදරයින් අතුරුදන් වීමෙන් පසුව, ඔවුන්ව සොයා කෙරුණු මෙහෙයවීම් සඳහා තස්ලීම් ද දායක වී ඇත. අදාළ පරීක්ෂණ සිදු කළ පොලිස් කණ්ඩායම සමග ද ඔහු කිට්ටුවෙන් කටයුතු කර තිබේ.

පොලිස් සෝදිසි මෙහෙයුම්
ඡායාරූප ශීර්ෂ වැකිය, වනාතවිල්ලුව පොලිස් සෝදිසි මෙහෙයුම්

වරක් ඔහු පොලිස් කණ්ඩායමක් සමග හක් සහෝදරයින් සැඟව සිටි බවට සැක කෙරුණු වනගත ප්‍රදේශයකට ගොස් තිබේ.

බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස ප්‍රශ්න කිරීමේදී කිසිවෙක් බලාපොරොත්තු නොවූ තොරතුරු හෙළිවිණි.

එනම් වනාතවිල්ලුව ප්‍රදේශයේ ගොවිපලක තිබී පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හමු වීමයි.

තස්ලිම් ද නිලධාරීන් සමග එම ස්ථානයට ගියේය. පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100ක්, ඩෙටනේටර්, කුඩාරමක් සහ කැමරාවක් එම ස්ථානයේ තිබී සොයා ගැනිණි.

එහි සිට නැවත නිවසට පැමිණි තස්ලීම් කනගාටුවෙන් සිටි බව ඔහුගේ බිරිඳ පැවසුවාය. "තවත් පුපුරන ද්‍රව්‍ය ඇති. අපි ජන කොට්ඨාසයක් වශයෙන් එකතුවෙලා මේවට වගකිවයුතු අය හඳුනාගෙන මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි" යනුවෙන් ඔහු පවසා තිබේ.

පුපුරන ද්‍රව්‍ය හමුවීමත් සමගම ජිහාඩ් ප්‍රහාරයක් එල්ල වෙතැයි යන අනතුර බලධාරීන් ට දැනිණි. නමුත් ආරක්ෂක අංශ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් වලින් එල්ල විය හැකි අනතුර ගැන වැඩි අවධානයකින් සිටි බැවින් ඉස්ලාමීය කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට ඇති හැකියාව පිළිබඳ වැඩි අවධානයක් යොමු නොවූ බවක් පෙනෙන්නට තිබේ.

එම ගොවිපළ තුළ තිබී හමු වූ පුපුරන ද්‍රව්‍ය මරාගෙන මැරෙන ප්‍රහාර සිදු කළ කණ්ඩායමට සම්බන්ධ බවට දැන් තොරතුරු හෙළිවී තිබේ.

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කොට තිබූ අයුරු

ඡායාරූප මූලාශ්‍රය, facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කොට තිබූ අයුරු

ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ සිටි ආගමික දේශකවරයෙකු වූ හෂීම්, අන්තවාදියෙකු ලෙස ප්‍රහාර සිදුවීමට පෙර සිටම හඳුනා ගෙන තිබිණි.

පසුගිය කාලයේ ප්‍රධාන පෙළේ මුස්ලිම් කණ්ඩායම් සමග හෂීම් ගැටලු ඇතිකර ගත්තේය.

ඔහු වරින් වර සමාජ මාධ්‍යයට මතභේදාත්මක වීඩියෝ මුදාහැරි අතර ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට එල්ල වූ ප්‍රහාරයේ ජායාරුපයක් ඉදිරිපිට සිටිමින් එම ප්‍රකාශයන් වීඩියෝ කර තිබිණි.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති හිල්මි අහමඩ් පවසන්නේ අන්තර්ජාලය ඔස්සේ හෂීම් ප්‍රචාරය කළ වෛරී ප්‍රකාශ සහිත දේශනා දැක තමා සහ කවුන්සිලයේ අනෙකුත් සාමාජිකයින් කම්පනයට පත්වූ බවත් ඒ ගැන බුද්ධි අංශ දැනුවත් කළ බවත්ය.

නමුත් බලධාරීන්ට හෂීම් සොයා ගැනීමට නොහැකි විය. නමුත් හෂීම් මුළු රටටම අනතුරක් වේයැයි තමා සිහිනෙන් වත් නොසිතු බව හිල්මි අහමඩ් පැවසීය.

පුපුරන ද්‍රව්‍ය හමුවීමෙන් අනතුරුව තමන්ගේ සැලසුම්වලට තස්ලීම්ගෙන් බාධා එල්ල වන බව හෂීම් සිතුවා විය යුතුය.

සහරාන් හෂීම්
ඡායාරූප ශීර්ෂ වැකිය, සහරාන් හෂීම්

"ඔත්තුකරුවෙකු" ලෙස කටයුතු කිරීම නිසා තස්ලීම් ඝාතනය කරන ලෙස හෂීම් නියෝග කළ බව අත්අඩංගුවේ පසුවන හෂීම් හා සම්බන්ධ කිහිපදෙනෙක් පැවසු බව උසස් පොලිස් නිලධාරියෙක් හෙළි කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වීමට මසකට පමණ පෙර එනම් මාර්තු මාසයේදී තුවක්කු කරුවෙකු හිමිදිරි උදෑසන තස්ලීම්ගේ නිවසට හොරරහසේ ඇතුළු විය. ඔහු සිය බිරිඳ සහ බාල පුතු අසල සයනේ වැතිර සිටියේය. තුවක්කුකරු තස්ලීම්ගේ හිසට වරක් වෙඩි තැබීය.

"ෆෝන් චාජර් එක පිපිරුවා කියලා මම මුලින් ම හිතුවේ. එත් ඒ දිහා බැලුවම ඒකට මුකුත් වෙලා තිබ්බේ නැහැ." තස්ලීම්ගේ බිරිඳ පැවසීය. "පස්සේ මම ඔහුව ඇහැරවන්න උත්සහ කළා. වෙඩි බෙහෙත් ගඳක් ආවා... මම ඔහුට ලං වුණා. එතකොටයි තේරුනේ ඔහුට සිහිය නැහැ කියලා. ඔහු මිය ගිහින් කියලා මට හිතුනා"

වහාම තස්ලීම් රෝහල් ගත කරුණු ලැබීය. වෙඩි ප්‍රහාරයෙන් දිවි ආරක්ෂා වුවත් ඔහු පූර්ණ සුවයක් ලබාවිද යන්න පැහැදිලි නොමැත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන කටයුතුවල ප්‍රමුඛ කාර්යයක් සිදු කරනු ලබයි. බුදු පිළිමවලට හානි කිරීම, පොල්වත්තක පුපුරන ද්‍රව්‍ය සඟවා තැබීම සහ තස්ලීම්ට වෙඩි තැබීම පිටුපස සිටින්නේ "එකම ජාලයක්" බව තහවුරු වී ඇතැයි ඔහු මා සමග පැවසීය.

මීට පෙර වාර්තා වූ සිදුවීම් ජිහාඩ්වාදීන් වෙතින් එල්ල විය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් බලධාරීන්ගේ වඩාත් විමසිල්ලට ලක්ව යුතුව තිබූ බව ඔහු පිළිගනියි. එසේම බෝම්බ ප්‍රහාරයට දින පෙර ඉන්දීය ආරක්ෂක අංශ විසින් කරන ලද අනතුරු ඇඟවීම් පසුපස හඹා නොයෑමට හේතුව දෙපාර්තමේන්තු අතර "බුද්ධි තොරතුරු බෙදා ගැනීම" සම්බන්ධයෙන් ගැටලු පැවතීම යැයි හමුදාපතිවරයා පෙන්වා දෙයි.

තුවාල ලබා සිටියත් තමන් පවසන දෑ තස්ලීම් තේරුම් ගන්නා බව ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසයි. අකුරු කුරුටුගාමින් ඉඳහිට ප්‍රතිචාර දක්වයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ දැන ගත් අවස්ථාවේ ඔහු පණිවුඩයක් ලියා කඳුළු වැගිරූ බව බිරිඳ පවසයි. "මම ඔයාට කිව්වා මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා" යනුවෙන් ඔහු පවසා තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් විරෝධී කෝලාහල මාලාවක් දියත් විය. වෙළඳසල් ප්‍රහාරයට ලක් වූ අතර එක් පුද්ගලයෙකුවත් මරණයට පත් විය. විශේෂයෙන් පොලිසිය වෙත සහාය දැක්වීමට හෝ බලධාරීන්ගේ අවධානයට ලක් කිරීමට උත්සහ ගෙන තිබියදී සිය ප්‍රජාව ත්‍රස්තවාදීන්ට රැකවරණ ලබා දෙන බව පැවසීම බොහෝ මුස්ලිම්වරුන්ගේ කෝපයට ලක්වේ.

"තස්ලීම්ගේ බිරිඳ ඔහු කළ පරිත්‍යාගය පිළිබඳ ආඩම්බර වන්නීය. "මම ඔබ වෙත අවශ්‍ය සියලු දේ ලබා දුන්නා. මරණින් පසු ස්වර්ගයට ළඟා වීමට අප කටයුතු කළ යුතුයි. අපේ ළඟ සිටින අයට අප උදව් කළ යුතුයි. අපේ ආගමේ උගන්වන්නේ එයයි, කියලා තස්ලීම් අපට කියාවි"