ශ්‍රී ලංකාවේ පිපිරීම්: සමන්තුරේ 'සැක කටයුතු ද්‍රව්‍ය රැසක්'

ශ්‍රී ලංකාව

ඡායාරූප මූලාශ්‍රය, Google

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ප්‍රහාකරකයන් ගේ බවට සැක කෙරෙන සැක කටයුතු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය පවසයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇඟලන ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටලයක්, කුඩා යකඩ බෝල ලක්ෂයක් සහ ජෙලග්නයිට් කූරු 150 ක් පමණ ද එම ස්ථානයේ තිබුණු බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

ඉහත කී ඇඳුම් කට්ටල සහ තිරය, පාස්කු දින ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යයි සැක කෙරෙන පිරිස විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනයක දැක්වෙන පුද්ගලයන් ඇඳ සිටි ඇඳුමට හා එහි වූ පසුබිම් තිරයට සමාන බව ද පොලිස් අධිකාරීවරයා පැවසීය.

රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරක් මත අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී ඉහත කී ද්‍රව්‍ය හමු වී තිබේ.

එයට අමතරව කල්මුනේ, සයින්දමරදු ප්‍රදේශයේ පොලිස් සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ පොලිසිය සහ ආරක්ෂක හමුදාව සමග කිසියම් පිරිසක් වෙඩි හුවමාරුවක නිරත වූ බවට වාර්තා ලැබී ඇති බවත් ඔහු පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය විසින් භාරගනු ලැබ තිබෙන අතර, ප්‍රහාරකයන්ගේ බව දැක්වෙන වීඩියෝ පටයක් ද මුදා හරිනු ලැබ තිබුණි.

මේ අතර ප්‍රහාරය මෙහෙයවූ, ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ සහ්රාන් මවුලාෆි ෂැන්ග්‍රිලා හෝටලයට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගොස් ඇතැයි ලැබී ඇති සාක්ෂි උපුටා දක්වමින් ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.

කියවන්න: