ශ්‍රී ලංකාවේ පිපිරීම්: කිතුනු, බෞද්ධ සහ මුස්ලිම් භක්තිකයන්ගේ ඇසින්

- Author, කුමුදු ජයවර්ධන සහ ෂර්ලි උපුල් කුමාර
- Role, BBC සිංහල - කොළඹ සිට
පුද්ගලයින් සිය ගණනකගේ ජීවිත අහිමි කර තවත් 500කට අධික පිරිසකට තුවාල සිදු කරමින් පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර මාලාව හමුවේ ශ්‍රී ලාංකිකයන් චංචල වී ඇති සෙයකි.
විශේෂයෙන් විශාල වශයෙන් ජනතාව ගැවසුණු ඇතැම් ස්ථාන අවට දක්නට ඇත්තේ පාළු බවකි.
රටේ පවතින වත්මන් තත්ත්වය ගමනක් බිමනක් යාමට පමණක් නොව තමන්ගේ ආගම දහම ඇදහීමට තිබූ නිදහස ද සීමා කර ඇති බවකි.
මේ වන විට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන වසා දමා ඒවායේ ගේට්ටුවලට ඉබි යතුරු දමා තිබෙනු බීබීසී සිංහල සේවයට දැක ගත හැකි විය.
ඇතැම් දේවස්ථාන ඉදිරිපිට හමුදා සෙබළුන් හෝ පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා තිබේ.
කිතුනු භක්තික කාන්තාවක වන මැණික් කුරුකුලආධිත්ය පානදුර, සරික්කමුල්ල ප්‍රදේශයේ පිහිටි ශාන්ත ආනා කතෝලික දේවස්ථානය වෙත යන්නේ කලක සිටය.
බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ කතෝලික දේවස්ථාන වෙත එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හමුවේ දේවස්ථානය වෙත ගොස් ආගමික කටයුතුවල නිරත වීමට බියක් ඇති වන බවය.
"අපිට දුකක් කරදරයක් දැනුණ ම අපි සහනයක් හොයාගෙන ගියේ පල්ලියට. ඒත් දැන් පල්ලියේ ගේට්ටු වහල තියෙනව දැක්ක ම ඇස්වලට කදුළු එනවා. අපි දැන් කොහේ යන්න ද සහනයක් හොයාගෙන?," ඇය කදුළු සලමින් පැවසුවාය.

ඇයගේ දියණියන් දෙදෙනා ම ශාන්ත ආනා දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවන්ය. දැරියෝ මීට සතියකට පෙර ඉරිදා දේව මෙහෙය අතරතුර ගැයූ භක්ති ගී යළි ගයන්නට හැකි වේ දැයි බියෙන් පසු වෙති.
"දැන් ආයෙත් උදා වෙලා තියෙන්නේ හස්බන්ඩ්ටයි මටයි වෙන වෙන ම ගමන් යන්න වෙන තත්ත්වයක්. මොක ද අපි දෙන්න ම නැති වුණොත් දරුවන්ට කවුරුත් නැති වෙන නිසා එක් කෙනෙක් හරි ජීවත් වෙන්න ඕන නේ. ඒ වගේ බයක් අපේ හිත්වල තියෙනවා," මැණික් සිය අදහස් පළ කළාය.
මේ අතර, පවතින තත්ත්වය බෞද්ධ ජනතාවට කෙසේ බලපාන්නේ ද යන්න සොයා බැලීම සදහා බීබීසී සිංහල සේවය කළුතර ප්‍රදේශයේ ද සංචාරයක නිරත විය.
එහි සංචාරය කරන අතරතුර බෞද්ධ කාන්තාවක වන සමිතා සමරවීර සිය හැඟීම් විස්තර කළේ මෙලෙසය.
ඇය පෙන්වා දුන්නේ, "මේක ක්‍රිස්තියානි අයට විතරක් වුණ දෙයක් කියලා සද්ද නැතුව ඉන්න බෑ. මොක ද අපිටත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්න පුළුවන්," සමිතා පැවසීය.

"ඉදිරියට බෞද්ධ අපේ උත්සව කාලය එන්නේ. වෙසක්, පොසොන් වගේ උත්සව එනවා. අපි ඒවාට අනිවාර්යයෙන් ම සහභාගි වෙන්න ඕන. ඒ නිසා ක්‍රිස්තියානි අයට විතරක් මේ ප්රශ්නය තියෙනවා කියල කියන්න බෑ. ඒ අයට ඇති වුණ දුක වගේ ම දුකක් බයක් අපටත් දැනෙනවා. අපි බෞද්ධයින් හැටියට ගොඩක් කනගාටු වෙනවා, අපේ ම සහෝදර ජනතාවට සිදු වුණ දේ ගැන."
මේ අතර, දේවස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවා ද යන්න පිළිබද දැන ගැනීම සදහා පානදුර මෙතෝදිස්ත දේවස්ථානයේ පාලක දේවගැතිතුමා වන අනිල් ද සිල්වා හමුවීමට ගියෙමු.
දේවගැතිතුමන් එම අවස්ථාවේ දේවස්ථානයේ නොසිටි අතර නිවැසියන් පැවසුවේ, ඔහු පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත ගොස් ඇති බවකි.
අපි ඔහු සොයා කළුතර දකුණ පොලිස් ස්ථානය කරා ගියෙමු.
"මම මේ පොලිසියට ආවේ දේවස්ථානයට ආරක්ෂාව ඉල්ලන්නයි. දේවස්ථානයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවන්න කියලා ඉල්ලලා මම දැන් ලියුමක් භාර දුන්නා. ඒත් හැම දේවස්ථානයට ම පොලිස් නිලධාරීන් යොදවන්න තරම් ප්‍රමාණවත් භටයින් පොලිසියට නැහැ." අනිල් ද සිල්වා දේවගැතිතුමා පැවසීය.
"දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ පල්ලියේ ම සාමාජිකයින් ව පල්ලියේ ආරක්ෂාව වෙනුවෙන් යොදවන්න. ඒ විදිහට අපේ පල්ලිය ආරක්ෂා කර ගන්නවත් ක්‍රියා කරන්න වෙනවා. මේක ලොකු සමාජ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මිනිසුන් දැන් ආගමික ස්ථානයකට යන්න බයෙන් ඉන්නේ."

මේ අතර, ආගමික ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා සියලු ආගමික ස්ථාන භාරකරුවන් ක්‍රියාත්මක විය යුතු බවට රජය උපදෙස් දී තිබේ.
කළුතර, දොඩංගොඩ ඛෙත්තාරාම විහාරාධිපති පූජ්‍ය බදුගම සිරිනිවාස හිමියන් බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ආගමික ස්ථානවල නියෝජිතයින් දැනුවත් කළ බවය.
"ජනතාවට රැස් වෙන්න දෙන්න එපා කිව්වා. ඒ වගේ ම දායක සභාව යොදාගෙන පන්සලේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි සැලසුම් කරනවා. දැන් තව ටික දවසකින් බෞද්ධ ජනතාවගේ ප්‍රධාන ම උත්සවය වන වෙසක් උත්සවය එනවා. එදාටත් පන්සල් එන්න එපා කියලා අපිට ජනතාවට කියන්න බැහැ. මේකට විසදුමක් අවශ්‍යයි."
මේ අතර, ඉස්ලාම් දේවස්ථානවලට ද ආරක්ෂක රැකවල් යොදා තිබෙනු දැක ගත හැකි විය.
මුස්ලිම් ප්‍රජාව ද බියකින් පසු වන අතර, මාධ්‍ය වෙත අදහස් දැක්වීමට පවා ඔවුහු කැමැත්තක් නොදැක්වූහ.

"පල්ලියෙ ඉන්නෙත් අපි බයෙන්. පොලිසියේ රාලහාමිලාට පිං සිද්ධ වෙන්න අපි පල්ලියට යනවා. නැත්නම් අපිට පල්ලියට යන්නත් නෑ," යනුවෙන් ඉස්ලාම් භක්තිකයෙකු වන එම්.ඒ. බුහාරි පැවසීය.
කෙසේ වෙතත්, සියලු ම ආගමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව ආරක්ෂක අංශ පවසයි.
කියවන්න:








