''මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්": මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයේ සිව් වසරක් ගත කළ හැටි

Www.news.lk

ඡායාරූප මූලාශ්‍රය, Www.news.lk

''මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්'' යන තේමා පාඨය ඔස්සේ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්ව සිව් වසරක් ගත වී තිබේ.

එවක ශ්‍රී ලංකාවේ තීන්දු තීරණ ගැනීමේ බලය රාජපක්ෂ පවුලට පමණක් සීමා වී තිබූ බවටත්, මාධ්‍ය මර්ධනය ඇතුළු විරුද්ධ මතධාරීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිචාර දක්වන බවටත් රාජපක්ෂ පාලනයට චෝදනා එල්ල වෙමින් පැවතින.

ඒ තත්වය යටතේ 2015 වසරේ ජනවාරි 8 වන දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්වූයේ, එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව, සිවිල් සමාජ ක්‍රියාධරයන් සහ සාමාන්‍ය ජනතාවගේ ද පුළුල් මැදිහත් වීමක් මධ්‍යයේය.

ඒ සඳහා සමාජ මාධ්‍ය තුළින් ජනතාව දැක්වූ දායකත්වය හේතුවෙන් එය "සමාජ මාධ්‍ය විප්ලවයක්" ලෙස ද හැඳින්විය.

ජාතික ආණ්ඩුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සාම්ප්‍රදායික දේශපාලන සතුරන් වන එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව රජයක් පිහිටුවනු ලැබීය.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එහි ප්‍රතිඵලයක් වශයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආදී වැදගත් අණපනත් රැසක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට එසේ පිහිටුවන ලද "යහපාලන ආණ්ඩුවට" හැකියාව ලැබිණි.

යහපාලනයක් ඇති කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු වූ බව කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ප්‍රධාන තැනක් හිමි විය.

සිය ''මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්" ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙන්ම බීබීසී සිංහල සේවය සමග කිහිපවරක්ම පැවැත්වූ සාකච්ඡාවලදී ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිහිප වතාවක්ම රාජපක්ෂ පාලනයට බරපතල දූෂණ චෝදනා එල්ල කළේය.

එම චෝදනා පරීක්ෂා කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් පත්කරන ලද බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව සංශෝධිත අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ අධිචෝදනා ඉදිරිපත් කර අධිකරණයේ නඩු පැවරිය යුතු යයි නිර්දේශ කර තිබුණි.

දූෂණ චෝදනා ලබා සිටි රාජපක්ෂ පාලනයේ මැති, ඇමතිවරුන් සහ නිලධාරීන් සම්බන්ධයෙන් ද ජනාධිපති කොමිසම නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළේය.

මෛත්‍රීපාල සිරිසේනගේ ධුර කාලයෙන් වසර 4ක් ගතව තිබුණත්, දූෂණ චෝදනා ලද පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ දැඩි ප්‍රමාදයක් පවතින බවට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට චෝදනා එල්ල වෙමින් පවතී.

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය

2015 ජනවාරි 08 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ "දින සියයේ" ආණ්ඩුව එවක කියා සිටියේ අධිකරණයට බලපෑම් නොකර නීතියට අනුව යමින් දූෂිතයන්ට දඬුවම් ලබා දීමට කටයුතු කරන බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන්, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ ඇතුළු පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් ගණනාවකට දූෂණ චෝදනා යටතේ පරීක්ෂණ පැවැත්වේ.

ධූර කාලය

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව පවසමින් බලයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පසුගිය වසරේ ජනවාරි මාසයේදී සිය නිල ධුර කාලය අවසන් වන නිශ්චිත කාල සීමාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරණු විමසීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් වසර හයක්ව තිබු ජනාධිපති ධුර කාලය වසර පහ දක්වා අඩු කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් 2015 වසරේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ "අවුරුදු පහෙන් ගෙදර යාම සිය ප්‍රතිපත්තිය" බවය.

කියවන්න:

එහිදී අධිකරණය වෙත අදහස් දක්වමින් නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය කියා සිටියේ, ජනතාව වසර හයකට පත් කළ ජනාධිපතිවරයකුගේ ධූර කාලය අඩු කිරීම ජනතාවගේ ඡන්ද බලය හා පරමාධිපත්‍යයට බලපාන කරුණක් වන හෙයින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයට අමතරව ජනමත විචාරණයක් මගින් ජනතා කැමැත්ත ද අවශ්‍ය කරන බවය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වසර පහක ධූර කාලය මීළඟට පත් වෙන ජනාධිපතිවරයාගේ පටන් අනාගතයට වලංගු වන බව ඔහුගේ මතය විය.

එහෙත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මහාචාර්ය ජීඑල් පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා නීතිපතිවරයාගේ මතය අභියෝගයට ලක් කරමින් ජනාධිපතිවරයාට ධූරයේ කටයුතු කළ හැක්කේ වසර පහක් පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් බව පෙන්වා දුන්නේය.

තවත් කියවන්න:

කෙසේ වෙතත්, අධිකරණයේ තීන්දුව වූයේ, මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති ධූර කාලය වසර 5කට සීමා විය යුතු බවය.

භාෂණයේ නිදහස

වීඩියෝ ශීර්ෂ වැකිය, තොරතුරු පනත ගැන ලාංකිකයන් දැනුවත්ද?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු රට තුළ භාෂණයේ නිදහස සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රගතියක් දක්නට ලැබෙන බව ජාතික මානව හිම්කම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම පසුගියදා බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

එමෙන්ම තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කිරීම, නව ව්‍යවස්ථාවකට පදනම් සකස් කිරීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය ඇතුළු විවිධ අංශවල වත්මන් ආණ්ඩුව ප්‍රගතියක් ලබා තිබෙන බව ආණ්ඩුවේ ආධාරකරුවන් මෙන්ම ඇතැම් ජාත්‍යන්තර රටවල් ද පෙන්වා දෙති.

ඝාතන කුමන්ත්‍රණ

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන "ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක්" ක්‍රියාත්මක වූ බවට ද ආන්දෝලනයක් රට තුළ ඇති විය. ඒ, නාමල් කුමාර නමැත්තෙකු විසින් කළ ප්‍රකාශයක් හේතුවෙනි.

ඔහු හමුදාවෙන් පැන ගිය පුද්ගලයෙකු සහ ව්‍යාජ සහතික සකස් කළ පුද්ගලයෙකු බව පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය පසුගියදා අධිකරණයට දැනුම් දුන් අතර, අදාළ "ඝාතන කුමන්ත්‍රණය" සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක වේ.

ඔක්තෝබර් 26

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැවති ගැටුම් එළිදරව් වූයේ, පසුගිය ඔක්තෝබර් 26 වන දා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් පසුවය.

PMD

ඡායාරූප මූලාශ්‍රය, PMD

එම සිද්ධිය ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව තුළ කළු පැල්ලමක් ඇති කිරීමට සමත් වූ බව විවිධ දේශපාලන විචාරකයින්ගේ අදහස විය.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ පමණක් නොව සිවිල් ජනතාව එල්ල කළ විරෝධය හමුවේ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව හමුවේ යළිත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිදුවිය.

WWW.NEWS.LK

ඡායාරූප මූලාශ්‍රය, WWW.NEWS.LK

කියවන්න:

පදවි ප්‍රාප්තියේ සිව් වන වසර

මේ අතර මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියෙන් යට වන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතාඅයිතියට පවරා දීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් අඟහරුවාදා (ජනවාරි 08) පෙරවරුවේ සිදු කෙරිණි.

Www.news.lk

ඡායාරූප මූලාශ්‍රය, Www.news.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, ලග්ගල නව හරිත නගරය

එය සංවිධානය කර තිබුණේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්ව සිව් වසරක් ගත වීම නිමිත්තෙනි.

මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළුගඟ ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට කළුගඟ ජලාශයට නුදුරුව නව ලග්ගල නගරය ඉදිකර තිබේ. අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.