ජනාධිපති, ගෝඨාභය "ඝාතන කුමන්ත්‍රණය": නාමල් කුමාර "හමුදා පුහුණුවෙන් පැන ගිය අයෙක්"

නාමල් කුමාර
ඡායාරූප ශීර්ෂ වැකිය, නාමල් කුමාර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පැවති බව පවසන නාමල් කුමාර නමැති පුද්ගලයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ පුහුණුව ලබන අතර වාරයේ පළා ගිය පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඒ බව කියා සිටියේ අදාළ පැමිණිල්ල බදාදා (ජනවාරි 02) කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

නාමල් කුමාර 2009 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී පුහුණුව ලබන අතරවාරයේ පළා ගිය අයකු බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු නැවතත් 2011 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී පුහුණුව ලබන අතරවාරයේ පළා ගොස් ඇතැයි පරීක්ෂණවලදී කරුණු අනාවරණය වූ බව පැවසීය.

"සාමාන්‍ය පෙළ ව්‍යාජ සහතික"

සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් දහයම සමත්ව ඇතැයි පවසමින් නාමල් කුමාර යුද හමුදාවට බැඳෙන අවස්ථාවේ ඉදිරිපත් කළ අධ්‍යාපන සහතිකය ව්‍යාජ එකක් බව පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇති අතර ඔහු සමත් වී ඇත්තේ විෂයයන් තුනක් පමණක් බවත් පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

නාමල් කුමාර නමැති පුද්ගලයා සහ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ පරීක්ෂණයක් නොකරන්නේ ඇයි දැයි එහිදී මහේස්ත්‍රාත්වරයා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් පොලීසිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පවත්වන බවය.

හොංකොං වෙත යවා පරීක්ෂාවට ලක් කරන ලද නාමල් කුමාරගේ ජංගම දුරකතනයේ පටිගත කර තිබූ සංවාද 427 ක්, වීඩියෝ දර්ශන 26 ක් සහ ඡායාරූප හමුවී ඇති බව කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සංවාද අඩංගු සංයුක්ත තැටි තුනක් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එම දුරකතන සංවාද තුළ නාමල් කුමාරගේ සහ චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ කටහඬ ඇතුළත්ව තිබේ ද යන්න පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

සැලසුම් කෙරුණු බව පැවසෙන ඝාතන කුමන්ත්‍රණයේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ තවත් ඉන්දීය ජාතිකයකු ලබන 16 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.

සරත් ෆොන්සේකා

Sri Lanka's President Maithripala Sirisena (L) confers the honorary military rank of field marshal on retired army general and defeated presidential candidate Sarath Fonseka (R) on March 22, 2015 at a ceremony in the capital Colombo. Sri Lanka's new government March 22 conferred the highest military rank of field marshal on retired army chief Sarath Fonseka, who had been jailed for alleged treason by the previous regime.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2015 මාර්තු 22 වෙනිදා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් ධුරයට පත් කරනු ලැබීය

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කිරීමට තමන් සැලසුම් කළ බවට පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී හෝ එම දෙපාර්තමේන්තුව මගින් කෙරෙන විමර්ශනයක දී ඒ පිළිබඳ සාක්ෂි කිසිවක් අනාවරණය වී නැතැයි පොලිස්පතිවරයා විසින් කතානායකවරයා වෙත ලිඛිතව දන්වනු ලැබ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පසුගිය දෙසැම්බර් 21 වෙනිදා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ඝාතන සැලැස්මක් සඳහන් කරමින් තමන්ට එරෙහිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එල්ල කළ චෝදනාව මගින් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා 2018 නොවැම්බර් 29 වෙනි දින කතානායකවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.

දෙසැම්බර් 21 වෙනිදා පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කියා සිටියේ සිය ලිපිය පිළිබඳ සලකා බලා කතානායක කරු ජයසූරිය කළ ඉල්ලීමකට අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර ඒ සම්බන්ධයෙන් කතානායකවරයා වෙත වාර්තාවක් ලබා දී ඇති බවය.

මේ අතර තමා ඝාතනය කිරීමට ඉන්දීය රෝ ඔත්තු සේවය සැලසුම් කරන්නේ යයි ඔක්තෝබර් 16 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පත එවක වාර්තා කර තිබිණි.

ඉන්දියාවේ 'රෝ' ඔත්තු සේවය තමා ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටින්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ නොකළ බව ශ්‍රී ලංකා රජය ඊට පසුදින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.