විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා - ජනාධිපති

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමාට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට කැප වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහය ඉදිරියේ ප්‍රතිඥා දෙයි.

අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රාර්ථනා කළ යහපාලනයක් ඇති රාජ්‍ය පාලනයක් රට තුල ගොඩ නැගීමට කැප බව බවත් ජනාධිපතිවරයා ආදාහන පූජෝත්සවයේ දී ප්‍රකාශ කළේය.

අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ‘වෙනත් ගමනක් සහ වෙනත් චරිතයක්’තිබුනැයි සඳහන් කළ ජනාධිපතිවරයා එම ගමනේ පරමාර්ථය වූයේ සාධාරණ යුක්ති සහගත සමාජයක් බිහි කිරීම බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්විණ.

කෝට්ටේ පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාර නාහිමියෝ ආගමික වතාවත් සිදු කළහ.

මෛත්‍රීනිකායික මහා සංඝරත්නය , සර්ව ආගමික පූජකවරුන්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය යන මහත්ම මහත්මීන් සහ මැති ඇමතිවරුන්ද, විදේශ තානාපතිවරුන් ඇතුලූ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ දිවයිනේ නන් දෙසින් පැමිණි අතිවිශාල ජනතාවක් ආදාහන පූජෝත්සවයට එක්ව සිටියහ.