ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ගැහැනු: "පිරිමින් අභිබවා කාන්තාව පෙළ ගැසෙන අවස්ථා තියෙනව"

- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සිංහල
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය ඔක්තෝබර් 26 වෙනි දින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකිරීමත් සමග ශ්‍රී ලංකාවේ මතු වූ බරපතල දේශපාලන සහ ව්‍යවස්ථා අර්බුදය හමුවේ කොළඹ ඇතුළු රට පුරා විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර මතුවන්නට විය.
ඇතැම් උද්ඝෝෂණවලට මෛත්‍රීපාල - මහින්ද විරෝධී දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් සහ සාමාජිකයන් සම්බන්ධ වුවද සති ගණනාවක් පුරා පැවති බොහෝ විරෝධතා ව්‍යාපාර සංවිධාන කර තිබුනේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සිවිල් ක්‍රියාකාරීන් විසිනි.
කොළඹට පමණක් සීමා නොවුණු විවිධ වයස් ඛාණ්ඩ සහ රැකියාවල නිරත දුර බැහැර සිට පැමිණි කාන්තාවන් පවා එවැනි විරෝධතා ව්‍යාපාරවල පෙරමුණ ගෙන තිබීම විශේෂත්වයකි. එක් විරෝධතාවකට එක්ව සිටි හඟුරන්කෙත සිට පැමිණි අසූ වැනි විය ආසන්නයේ සිටින බව විශ්වාස කළ හැකි වයෝවෘද්ධ කාන්තාව ඊට එක් උදාහරණයකි.
"ජනපති සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයෙන් රට අනතුරේ, ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවන්ට ජනබලයෙන් පිළිතුරු දෙමු" යන තේමාව යටතේ කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපස සති ගණනාවක් පුරා දියත් වූ සත්‍යග්‍රහ ව්‍යාපාරයේ ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කර තිබුනේ ද කාන්තාවකි.
රජයේ සේවකයෙකු බැවින් ප්‍රසිද්ධියේ සිය නම පළ නොකරන ලෙස ඉල්ලා සිටි ඇය මල්ලිකා ලෙසින් හඳුන්වමි.
"දවස් 24 අපි අඛණ්ඩව සත්‍යග්‍රහ කළා. ඒක ඉවර වෙනකල් මම නිදාගත්තේ නෑ." ඇය පවසන්නීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, කලාකරුවන්, රජයේ සේවක සේවිකාවන්, වෘත්තීය සමිති නායකයන්, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන්, මාධ්‍යවේදීන්, තරුණ , තරුණියන් පමණක් නොව කිසිදු සංවිධානයක් නියෝජනය නොකළ බොහෝ දෙනා ද තමන්ට හැකි පමණින් එම සත්‍යග්‍රහයට සහභාගි වී සිටි බව සංවිධායකයෝ පවසති.
ඒ අතරින් බහුතරය කාන්තාවන් බව මල්ලිකා පවසන්නීය.
බොහෝ ජනමාධ්‍ය තත්ත්වය "විකෘති කිරීමට" උත්සාහ කළත් කාන්තාවන් වශයෙන් රටේ පැවති අර්බුදය නිසි ලෙස වටහා ගනිමින් පුරවැසියන් වශයෙන් සිය වගකීම ඉටු කළ බව ඇයගේ අදහසය.
"2015 දී අපි ලොකු අරගලයක් කළා යහපාලනය වෙනුවෙන්. ඉතින් අපි බලාපොරොත්තු වෙච්ච දේ 100% ක් නොවුනත්, අපිට නිදහසේ කතාකරන්න අයිතිය තිබුනා,එලියට බැහැල හඬක් නගන්න අවස්ථාව තිබුනා. අපිට බැටන් ප්‍රහාර, මරණ තර්ජන ඒ මොනවත් නැතුව අපි එලියට බැහැල කතා කළා. ඊට පස්සේ 62 ලක්ෂයක් පත්කරපු ජනාධිපති අපි එපා කියපු කෙනා අගමැති හැටියට පත් කළාම ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී කියන අදහසේ අපි හැමෝම හිටියා," මල්ලිකා විස්තර කළාය.
එබැවින් කිසිවෙකුගේ බලය ආරක්ෂා කිරීමට හෝ රනිල් වික්‍රමසිංහ නැවත අගමැති කිරීම සඳහා නොව, ජනාධිපතිවරයා දියත් කළ "ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය" පරාජය කිරීම පිණිස පෙළගැසීමේ අවශ්‍යතාව සලකා බැලූ තමන් ඇතුළු කණ්ඩායමක් සත්‍යග්‍රහයක් දියත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළ බව ඇය පවසන්නීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, vikalpa/ facebook

එහිදී මහජනතාවගේ දෛනික ජීවිතය බාධා නොවන ආකාරයේ යමක් කළ යුතු බව ද ඔවුන්ගේ අදහස වී තිබේ.
ඇය පවසන පරිදි එතැන් සිට ලැබී ඇත්තේ ඔවුන් පවා බලාපොරොත්තු නොවූ අන්දමේ ප්‍රතිචාරයකි.
දානපතියන්, ව්‍යාපාරිකයන්, සාමාන්‍ය මහජනතාව ඇතුළු ඇය කිසි දින දැන නොසිටි බොහෝ දෙනා ආහාර පාන, ජලය, සිසිල් බීම ඇතුළු ද්‍රව්‍ය දින 24 පුරාම ඔවුන්ට පරිත්‍යාග කළ බව කී මල්ලිකා ප්‍රසිද්ධියේ පෙනී සිටීමට අකැමැත්ත පළ කළ ඇතැමුන් කුලීකරුවන් අත ආධාර එවීමට කටයුතු කළ බව සඳහන් කළාය.
සත්‍යග්‍රහය දියත් කිරීමත් සමග ඇය පළමු සතියේ රැකියාවෙන් නිවාඩු ගෙන තිබේ. ඉන්පසුව දිනපතා දහවල් රැකියාවට ගොස් ඇති මල්ලිකා, සවස හතරට පමණ සත්‍යග්‍රහ භූමියට ගොස්, ආහාර, පාන, සහභාගි වන පිරිස් ඇතුළු එහි සියලු කටයුතු සංවිධානය කර යළි නිවස බලා ගොස් ඇත්තේ රාත්‍රී දෙකට පමණය. ඇය පවසන පරිදි නිසි නින්දක් නොමැති වුවත් ඊළඟ දිනයේත් ඇයගේ දිනචරියාව එය වී තිබේ.
ඒ අතර "කඩාකප්පල්කාරීන්" පිළිබඳ විමසිල්ලෙන් පසුවීමට ද සිදු වූ බව ඇය සිහිපත් කරන්නීය.
උද්ඝෝෂණවලට සම්බන්ධ වූ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් පසුගියදා කතානායක කරු ජයසූරිය මුණ ගැසී, "ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරම්භ කළ ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවලියේ දී ව්‍යවස්ථානුකූලව කටයුතු කරමින් පාර්ලිමේන්තුවේ ගරුත්වය හා සම්ප‍්‍රදායන් රකිමින් ඉතා නිර්භීතව පියවර ගැනීම සහ ඓතිහාසික තීරණයන් දීම" සම්බන්ධව කතානායකවරයා වෙත ගෞරවය හා ස්තූතිය පළ කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ කතානායක කරු ජයසූරිය, දේශපාලන අර්බුදය මතු වූ අවස්ථාවේ විශේෂයෙන්ම කාන්තාවන් සහ තරුණ පරපුර එයට එරෙහිව නැගී සිටීම "පෙර නොවූ විරූ ආකාරයේ, නොසිතු මට්ටමේ දායකත්වයක්" ලෙස හැඳින්වීය.
"ඒක ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය ගැන සුභ ලකුණක් හැටියට මම දකිනවා," යනුවෙන් ද කතානායක කරු ජයසූරිය සඳහන් කළේය.
කතානායකවරයා ද සඳහන් කළ පරිදි, ඇතැම්විට එකම පවුලේ මව, දියණිය සහ මිණිපිරිය ද එවැනි උද්ඝෝෂණවලට එක්ව සිටියහ.
සිය මව සහ දියණිය සමග සත්‍යග්‍රහයට සහභාගි වූ කොළඹ වාසය කරන ධනුෂි සේනානායක බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය මගින් සිය ඡන්දය දීමේ අයිතිය උල්ලංඝනය වූ බැවින් තවදුරටත් ඒ ගැන නිහඬව සිටීමට තමන්ට හැකියාවක් නොවූ බවය.
"මහින්ද රාජපක්ෂ කියන්නේ අපි දෙතුන් පාරක් ඡන්දයෙන් පරාජය කරපු කෙනෙක්. අපිට අවශ්‍ය නෑ ආයෙත් වැඩවසම් යුගයකට යන්න. ප්‍රශ්නයක් තිබුණ නම් ඒක විසඳගන්න මේ වගේ දෙයක් කරන්න අවශ්‍ය නෑ," ඇය පවසන්නීය.


ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රනිල් වික්‍රමසිංහ යළිත් අගමැති පදවියට පත්වුවත් සිය අරගලය නිමා වී නැති බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි ඇය, "ජාතිවාදය සහ අන්තවාදය පතුරවන පිරිස්" හෙළිදරව් කොට ඔවුන් අන්තවාදීව පරාජය කළ යුතු බවත් කියා සිටියාය.
"අපි දැන් නිහඬ විය යුතු නෑ. දැන් තමයි නියම පසුබිම හැදිල තියෙන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පිවිසුමකට. අපි නිහඬ වුනොත් තව මාස හයකින් අපි ආයෙත් හිටපු තැනටම යන්න පුළුවන්."
මේ අතර කොළඹ සිටින ඇම්නස්ටි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වන ත්‍යාගි රුවන්පතිරණ ට්විටර් පණිවුඩයකින් පවසා තිබුණේ, තමන් කරන බොහෝ කටයුතු සම්බන්ධයෙන් තමන්ට වෙනස් මතයක් දරන විශ්‍රාමික වෛද්‍යවරියක වන සිය මව සිදුවෙමින් පැවති බරපතල අසාධාරණය දරාගත නොහැකිව ජීවිතයේ පළමුවරට තමන් සමග වීදිබට බවය.
"දුව මොකක් හරි පෙළපාලියකට යනවා නම් මටත් කියන්න, යනුවෙන් මාගේ මව පැවසුවා. මේක කොයිතරම් දරුණු අසාධාරණයක් ද කියල අපි දෙන්නම දැඩි ස්ථාවරයක ඉන්න එක ගැන මට සතුටුයි," යනුවෙන් ඇයගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
විහාර මහා දේවී උද්‍යානය අසල පැවති සත්‍යග්‍රහය හැරුණු විට, සති ගනනාවක් මුළුල්ලේ කොළඹ විවිධ ස්ථානවල තවත් විරෝධතා ව්‍යාපාර දියත්ව තිබුණි.
ජන අණසක, සමාජ සාධාරණත්වය උදෙසා මහජන ව්‍යාපාරය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනල්ලු, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය, අලුත් පරපුර, ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, අලුත් පියාපත්, යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මහජන ව්‍යාපාරය, සමාජ සමානාත්මතාවය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු වැනි සංවිධාන එවැනි විරෝධතා ව්‍යාපාර සංවිධානය කළ පිරිස් අතර විය.
ව්‍යවස්ථා අර්බුදය පැවති සමයේ ඉතා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට රජයේ මාධ්‍යවලට චෝදනා කරමින් ලේක්හවුස් ආයතනය ඉදිරිපස විරෝධතාවක් දියත් වූ අතර, තරුණ කලාකරුවන්ගෙන් සැදුම්ලත් සංවිධාන මාධ්‍ය සාකච්ඡා ඇතුළු විරෝධතා දියත් කරද්දී, කාන්තාවන් පිරිසක් විසින් "අපි පුරවැසියෝ" නමින් ද සංවිධානයක් පිහිටුවාගෙන තිබිණ.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විශේෂ චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කරද්දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කුප්‍රකට "සමනල චෝදනාවෙන්" අනතුරුව සමකාමී කණ්ඩායම් "ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනල්ලු " නමින් සංවිධානයක් පිහිටුවා ගත්හ.
ජනාධිපතිවරයා විසින් යළි වරක් රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත්කිරීමෙන් අනතුරුව බොහෝ විරෝධතා ව්‍යාපාර නිමා කෙරුණ ද රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය උදාකරන ලෙස ඉල්ලා සිටිමින් කාන්තාවන් ඇතුළු ක්‍රියාකරුවන් තවදුරටත් සාමකාමී උද්ඝෝෂණවල නිරත විය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික නීතිවේදිනියක වන සොරායා ඩීන්, කාන්තාවන්ට නැගී සිටින මෙන් ඉල්ලා සිටිමින් වරින්වර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දියත්කරන උද්ඝෝෂණ ද කැපී පෙනුනි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිනියන් එක පෙරමුණකට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බව ඇය බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
"දේශපාලන කුමන්ත්‍රණය" අවසාන වුවත් එය මෙහෙයවූවන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නගන තුරු සටන තවමත් නිමා වී නැති බව පවසමින් පසුගිය දෙසැම්බර් 19 වෙනි දින ද පිටකොටුව දුම්රිපොල අසලදී උද්ඝෝෂණයක් පැවැත්විණ.

විශේෂයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රටේ අර්බුදකාරී වාතාවරණයක් ඇති කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහ අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් නව ජනරජ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන මෙන් "කට්ටිය නින්දට ගියාද? සටන තවම අවසන් නැත" මැයෙන් වූ එම උද්ඝෝෂණයට එක්වූ විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
විශේෂයෙන්ම විධායක ජනාධිපති ධුරයේ පවතින "නින්දිතකම" හේතුවෙන් ඔක්තෝබර් 26 වෙනි දිනෙන් අනතුරුව ශ්‍රී ලංකාව "අරාජික තත්ත්වයකට" පත්කළ බව විරෝධයට එක්ව සිටි සිනමා නිලි සමනලී ෆොන්සේකා මාධ්‍ය හමුවේ කියා සිටියාය.
"රනිල්ගේ ආර්ථික කොල්ලය පරදවමු" උද්ඝෝෂණයේ තවත් එක් සටන් පාඨයක් විය.
කෙසේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව සම්බන්ධ අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ වුව විශේෂයෙන්ම කලාකරුවන්ගේ කාර්යභාරය විය යුත්තේ වීදි බැසීම නොව සිය නිර්මාණ මාර්ගයෙන් එයට විරෝධය පළ කිරීම බව කලාකරුවන් යුවලකගේ මතය වී තිබේ.
ලන්ඩන් නුවර සංචාරයක් අතරවාරයේ බීබීසී මැදිරියට පැමිණි සංගීතඥ තරුපති මුණසිංහ සහ ගයනි ගිසන්තිකා ඒ බව කියා සිටියේ ෆේස්බුක් ඔස්සේ සජීව සංවාදයකට එක්වෙමිනි.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
2015 ජනවාරි 08 වෙනි දින බලයට පත්වීම සඳහා සිවිල් සමාජ ක්‍රියාධරයන් ඇතුළු විවිධ ජනකොටස් ලබා දුන් දායකත්වය මුලදී අගය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුව ඇතැම් සිවිල් සමාජ සංවිධාන දැඩි විවේචනයට ලක් කළේය.
විශේෂයෙන් රටේ පැවැත්මට "රාජ්‍ය නොවන සංවිධාන" (NGO) මගින් බලපෑම් එල්ලවන බව ඔහු අවස්ථා කීපයකදීම පවසා තිබිණි.
ජනාධිපතිවරයාගේ " ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය" පරාජය කිරීම පිණිස කාන්තාවන් ප්‍රබල දායකත්වයක් දැක්වුව ද, ඉන් අනතුරුව පසුගිය දෙසැම්බර් 17 වෙනි දින කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ රැලියේදී අදහස් දැක්වීමට කිසිදු කාන්තාවකට අවස්ථාව ලබා දී නොතිබිණි.
එක්සත් ජාතික පක්ෂය පුරුෂයන්ට පමණක් වේදිකාව සකසා දීම පිළිබඳ විවේචන ද එල්ල විය.


පසුගිය නොවැම්බර් 21 වෙනි දින ආරම්භ වූ සත්‍යග්‍රහය නිමාවට පත්වූයේ දෙසැම්බර් 14 වන දාය.
"ඇත්තටම ලොකු ආඩම්බරයක් තියෙනව, ජයග්‍රහණයකින් අවසන් කරන්න ලැබුනා," මල්ලිකා මා සමග කියා සිටියාය.
කෙසේ වුවත් ඉදිරි මාස කිහිපය තුළ රටවැසියන්ට සාධාරණය ඉටුකිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ අපොහොසත් වුවහොත් යළිත් වරක් කාන්තාවන් එයට එරෙහිව පෙළ ගැසෙනු ඇති බව ඇය පවසන්නීය.
"රටේ පළවෙනි පුරවැසියා හෝ දෙවෙනි පුරවැසියා කරන්නේ වරදක් නම් මම නම් පැහැදිලිවම එලියට බහිනවා. සිරිකොත ද, පොහොට්ට්ටුව ද මට අදාළ නෑ. රටට හානියක් වෙනව ද එතෙන්දි අපි පෙරමුණ ගන්නවා කාන්තාව විදියට."
"ඉස්සර වගේ කාන්තාව දැන් ගෙටම සීමා වෙලා නෑ, පුරුෂාධිපත්‍යය තියෙන බව හැබෑව නමුත් සමහර වෙලාවට පිරිමින් අභිබවා කාන්තාව පෙළ ගැසෙන අවස්ථාවක් තියෙනව කියල මට හිතෙනවා."









