ශ්‍රී ලංකාව පුරා මත්ද්‍රව්‍ය බෙදා හරින "ප්‍රධාන මධ්‍යස්ථානය" සොයාගත්තා - පොලිසිය

සඳුදා (දෙසැම්බර් 31) වටලන ලද දෙහිවල ප්‍රදේශයේ පිහිටි නිවස ශ්‍රී ලංකාව පුරා මත්ද්‍රව්‍ය බෙදා හරින ප්‍රධාන මධ්‍යස්ථානය යැයි සැකකරන බව පොලිසිය පවසයි.
එදින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය දෙහිවල සිදු කළ වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 278ක් අත්අඩංගුවට ගෙන තිබේ.
එය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය ලෙස සැලකේ.
2013 වසරේ දී අත්අඩංගුවට ගන්නා ලද කිලෝග්‍රෑම් 261ක ප්‍රමාණය මෙතෙක් ශ්‍රී ලංකාවේ අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය විය.
පසුගිය 15 වැනිදා දෙහිවල දී අත්අඩංගුවට ගනු ලැබූ බංග්ලාදේශ කාන්තාවක සතුව තිබූ කිලෝග්‍රෑම් 32ක හෙරොයින් තොගය මෙන්ම, 14 වැනිදා නුගේගොඩ පාගොඩ පාරේදී පුද්ගලයන් දෙදෙනෙකු සතුව තිබුණ හෙරොයින් කිලෝග්‍රෑම් එකක ප්‍රමාණය ද මෙම මධ්‍යස්ථානයෙන් සැපයූ මත්ද්‍රව්‍ය බව පැහැදිලි යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර බීබීසි සිංහල සේවයට පැවසීය.
දෙසැම්බර් මස 5 වැනිදා බේරුවල මුහුදු තීරයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් අත්අඩංගුවට ගත් අතර, එම තොගය දෙහිවල ස්ථානයෙන් රැගෙන ගිය බවට තොරතුරු තවමත් හෙළි වී නොමැති බව ද පොලිසිය පවසයි.
දෙසැම්බර් මාසය තුල පමණක් දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් මත් කුඩු කිලෝ 550කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහි වටිනාකම රුපියල් බිලියන 6.5 කට ආසන්නය.
දෙසැම්බර් මාසයේ සිදුවූ ප්‍රධාන පෙළේ හෙරොයින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් කිහිපයක්:
- දෙසැම්බර් 5 වෙනිදා, හෙරොයින් කිලෝග්‍රෑම් 231ක්, බේරුවල - ඇස්තමේන්තු වටිනාකම රුපියල් මිලියන 2778
- දෙසැම්බර් 14 වෙනිදා, හෙරොයින් කිලෝග්‍රෑම් 1, නුගේගොඩ - ඇස්තමේන්තු වටිනාකම රුපියල් මිලියන 12
- දෙසැම්බර් 15 වෙනිදා, හෙරොයින් කිලෝග්‍රෑම් 32ක්, රත්මලාන - ඇස්තමේන්තු වටිනාකම රුපියල් මිලියන 384
- දෙසැම්බර් 24 වෙනිදා, හෙරොයින් කිලෝග්‍රෑම් 1ක්, මාරවිල - ඇස්තමේන්තු වටිනාකම රුපියල් මිලියන 12
- දෙසැම්බර් 31 වෙනිදා, හෙරොයින් කිලෝග්‍රෑම් 278ක්, දෙහිවල - ඇස්තමේන්තු වටිනාකම රුපියල් මිලියන 3336

මේ තොරතුරුද කියවන්න:
වැටලීම් සිදු කළේ කෙසේ ද?
ගල්කිස්ස සහ දෙහිවල යන ප්‍රදේශවලින් සඳුදා අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සමග බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් තොගයට අමතරව සැකකරුවන් සතුව තිබී කොකේන් මත්ද්‍රවය කිලෝ ග්‍රෑම් පහක් ද සොයාගෙන තිබිණි.
ගල්කිස්සේ නිවාස සංකීර්ණයක දී හෙරොයින් කිලෝ 09ක් සමග මෙම බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් පසු ලැබුණු තොරතුරු මත දිවයිනට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන ස්ථානය ලෙස සැකකරන දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ දෙමහල් නිවස සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අත් අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබූ යතුරු කැරැල්ලක් සහ රෝලර් ගේට්ටුවක දුරස්ථ පාලකයක් ඔස්සේ සිදු කරන ලද වැඩිදුර විමර්ශනවල දී, දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක කේක් පෙට්ටි ඇතුළු නොයෙකුත් ඇසුරුම් වල සඟවා තිබූ තවත් හෙරොයින් සහ කෝකේන් තොගයක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
විදේශීය ජාවාරම්කරුවන් විසින් කුලියට ගෙන සිටි මෙම නිවස ශ්‍රී ලංකාව පුරා හෙරොයින් බෙදාහරින සැඟවුණු ස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්
මෙතෙක් සිදු කළ වැටලීම් සලකා බැලීමේ දී ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා වැඩි වශයෙන් විදේශිකයන් සම්බන්ධ වී ඇති ආකාරය දක්නට ලැබේ.
2017 වසරේ ශ්‍රී ලංකාවේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් විදේශිකයන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එයින් 15 දෙනෙකු පාකිස්තාන ජාතිකයන්ය.
පොලිස් වාර්තාවලට අනුව 2018 වසරේ අගෝස්තු මස දක්වා මත්ද්‍රව්‍ය වැරදිවලට විදේශිකයන් 22ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් 10 දෙනෙකු ඉන්දීය ජාතිකයන්ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තවත් තොරතුරු:
මත්ද්‍රව්‍ය වැරදිවලට මරණ දඬුවම
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව හෙරොයින් ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දිය හැකිය.
2013 ජනවාරි මස 07 වෙනිදා කොළඹ මරදාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 18.94 ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම හේතුවෙන් වරදකරු වූ පුද්ගලයෙකුට පසුගිය දෙසැම්බර් මස 12 වෙනිදා කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය නියම කළේය.
2010 වසරේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 122.68ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයන් දෙදෙනකුට කොළඹ මහාධිකරණය පසුගිය වසරේ ඔක්තෝබර් මස මරණ දණ්ඩනය නියම කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක නොවන බැවින් මෙම වරදකරුවන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් වේ.
මෙලෙස සිරගත වී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාර තුළ සිට ජාවාරම් මෙහයවන බවට චෝදනා කරමින් ඔවුන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍ය, අදාළ නඩු කටයුතු අවසන් වූ පසු අධිකරණ විනිසුරුවරයාගේ මූලිකත්වයෙන් විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.








