මත්ද්‍රව්‍ය හසුකර ගැනීමට දැනට ඇති යන්ත්‍ර ශක්තිමත් නැහැ - සාගල
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට අවශ්‍ය නවීන යන්ත්‍රසූත්‍ර උපයෝගී කරගැනීම සඳහා පියවර ගනිමින් ඇතත් තවමත් එය ඉතා දුෂ්කර ප්‍රයත්නයක් වී ඇතිබව ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් පවා ප්‍රකාශ කරන්නේ යැයි නීතිය සහ සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ රුපියල් කොටි දෙසියයක් පමණ වටිනා කොකේන් කිලෝග්‍රෑම් දෙසියයකට අධික ප්‍රමාණයක් ඔරුගොඩවත්ත පිහිටි රේගු කන්ටේනර් අංගනයේදී සොයාගැනීමට අදාළව පාර්ලිමේන්තුවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වාර්තාවන ආකාරයට එය මෙතෙක් සොයාගන්නා ලද දෙවෙනි විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව පවසමින් කතා කළ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, රට තුළට කොතරම් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් එන්නේදැයි යන ප්‍රශ්නය මතුවන බව පෙන්වා දුන්නේය.
එම ප්‍රශ්නයට පිළිතුරු දුන් සාගල රත්නායක ඇමතිවරයා 'මත්ද්‍රව්‍ය හසුකර ගතහැකි යන්ත්‍ර ඇත්නම් වරායක් හෝ ගුවන් තොටුපොළක් හරහා එම ජාවාරම සිදුකළ නොහැකි' බව සඳහන් කළේය.
"අපි කොයිතරම් තාක්ෂණය දියුණුකළත් මේ ගැටලුව දිගින් දිගටම තියේවි. අපට මේ ප්‍රයත්නය සාර්ථක කරගත හැකි වන්නේ ජාත්‍යන්තරය සමඟ සබඳතා ශක්තිමත් කරමින් කටයුතු කිරීමෙනුයි" ඇමතිවරයා පවසයි.
'සාර්ක්' කලාපීය රටවල ඇමතිවරුන් හමු වූ අවස්ථාවේදීත් මේ ප්‍රශ්නය සාකච්ඡාවට ගත්බව නීතිය සහ සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.

"ඒ සඳහා අපි සංවිධානයක් පිහිටුවා ගෙන තියෙනව. එය ස්ථාපනය කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ .එමගින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා 'සාර්ක්' රටවල් සම්බන්ධීකරණය කෙරෙනවා" යැයි ද ඇමතිවරයා පැවසීය.
එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද විමර්ශනවලදී දේශපාලන සම්බන්ධතා අනාවරණය වී නොමැති බව ඇමතිවරයා කියා සිටියේය.
එහෙත් ශ්‍රී ලංකාව වෙනත් රටවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරෙන මධ්‍යස්ථානයක් බවට පත්කරගැනීම් සැලසුම් අවසන් කර දැමීමට පියවර ගනු ලබන බව ඇමති සාගල රත්නායක අවධාරණය කළේය.








