රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇතැයි කතානායක කරු ජනපති මෛත්‍රිපාලට දන්වයි

Ranil Wickramasinghe

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීම සඳහා විශ්වාසය ප්‍රකාශ කිරීමේ යෝජනාව බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී යථා පරිදි සම්මත කරන ලද බව කතානායක කරු ජයසුරිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිඛිතව දන්වා ඇති බව කතානායක මාධ්‍ය ඒකකය පවසයි.

අදාළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ බහුතර ඡන්දයෙන් විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ යන්ත්‍රය භාවිතයෙන් සම්මත කර ගනු ලැබ ඇතැයි කතානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරු කිසිවකුත් ජන්දය භාවිත කර නොතිබිණි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු මෙවරත් පාර්ලිමේන්තුව වර්ජනය කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ජන්දය භවිතා කරමින් වැළකී සිටියහ.

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරුන් 103 දෙනා සහ දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධ මන්ත්‍රීවරුන් 14 ක් රනිල් වික්‍රමසිංහට සහය පළකරමින් ජන්දය භාවිත කළහ.

මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට එක්සත් ජාතික පක්ෂයට සහය පළ කළ ඒ එච් එම් ෆවුසි සහ පියසේන ගමගේ ද රනිල් වික්‍රමසිංහට සහය දෙමින් ඡන්දය භාවිත කළහ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහට, "අගමැතිවරයා වශයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට," යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මේ ගැනත් කියවන්න:

RUWAN WIJEWARDENE/TWITTER

ඡායාරූප මූලාශ්‍රය, RUWAN WIJEWARDENE/TWITTER

රට තුළ වර්තමානයේ ඇති වී ඇති දේශපාලන අර්බුදයට හේතුව, "රටේ නීත්‍යනුකුල අගමැතිවරයා තනි මතයට හිතුවක්කාර ලෙස බලහත්කාරයෙන් ඉවත්කිරීම," බව යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙම දේශපාලන අස්ථාවරභාවය අවසන් කිරීම සඳහා ඇති එක ම විසඳුම පාර්ලිමේන්තු බහුතරය ඇති රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස නැවත පත්කිරීම බව සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.

ඔක්තෝබර් 26 වන දිනට පෙර පැවති එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව යළි පිහිටුවීම සඳහා සහය පළ කරමින් ජනාධිපතිවරයාට යැවූ ලිපිය අනුව දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කියා සිටියේය.

නොවැම්බර් 29 වන දා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සහය නොමැති අවස්ථාවක ඔක්තෝබර් 26 වන දාට පෙර ආණ්ඩුව යළි ඇති කිරීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය ඇති එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයාට දෙමළ ජාතික සන්ධානය සහය පළකරන බවය.

යෝජනාව සම්මත වීමෙන් අනතුරුව අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යෝජනාවට සහය ලබාදුන් සියළු මන්ත්‍රීවරුන්ට සහය පළකළේය. ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සියළු දෙනාගේ වගකීම බව පැවසූ රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ තිබෙන්නේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් බව ප්‍රකාශ කළේය.

තවදුරටත් කියවන්න:

ඒකීය රාජ්‍යයක් තුළ බෙදන්න බැරි ශ්‍රී ලංකාවක් තුළ දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා කැපවී කටයුතු කරන බව පැවසූ රනිල් වික්‍රමසිංහ උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමටද කටයුතු කරන බව මෙහිදී ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානය තමන්ට සහය දීම ගැන ප්‍රතිචාර දක්වමිනි.

රනිල් වික්‍රමසිංහගේ කතාවෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය සභාවට දැනුම් දුන්නේ, පාර්ලිමේන්තුව දෙසැම්බර් 18 වන දා පස්වරු 1.00 දක්වා කල් තබන බවය.

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ම සහය පළ කළත් රනිල් වික්‍රමසිංහට අගමැතිධුරය ලබා නොදෙන බව," ජනාධිපතිවරයා පවසන අවස්ථාවේ මෙවන් යෝජනාවක් එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවේ සම්මත කිරීම මෙම දේශපාලන අර්බුදය තවත් තීව්‍ර කිරීමට බොහෝ විට ඉඩකඩ තිබේ.

මේ ගැන බීබීසි සිංහල සේවය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී මංගල සමරවීරගෙන් විමසු විට ඔහු පැවසුවේ, "ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට" කටයුතු කිරීමට සිදුවනු ඇති බවය.

ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාද පැවසුවේ පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයාට අගමැති ධුරය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපතිවරයාට නොහැකි බවය.

"ජනාධිපතිතුමාට එහෙම කියන්න බැහැ. ඒක ව්‍යවස්ථා විරෝධීයි. පාර්ලිමේන්තු බහුතරය තියෙනවනම් යම් කෙනෙකුට ඔහුව පත්කිරීම ජනාධිපතිවරයාගේ වගකීම ඒක පැහැර හරින්න බැහැ," විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

"මේ පක්ෂ දෙකට ම අපේ විශ්වාසය නැහැ, අපි මීට පෙර රනිල් වික්‍රමසිංහට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළා, ඒක අපිට නැවත පුන පුනා කියන්න අවශ්‍ය නැහැ, අපි ඒ ස්ථාවරයේ දිගටම ඉන්නවා," විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

දෙමළ ජාතික සන්ධානයේ සහය රනිල් වික්‍රමසිංහට ලබාදීම ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරු එල්ල කරන චෝදනා විහිළු සහගත බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

"මේ කුමන්ත්‍රණය කරපු දවසේ ඉඳල ම දෙමළ ජාතික සන්ධානයේ පස්සේ ගිහිල්ලා, දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නම් ඉඩම් යළි දෙන්නම් කිය කිය, ඒක බැරිවුනාම දැන් අපිට සහය දෙනකොට ඒගොල්ලන් කොටි බවට පරිවර්තනය වෙනවා," එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මංගල සමරවීර කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නේ රට බෙදීමේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අරමුණින් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු අවස්ථා ගණනාවකදී පසුගිය දා චෝදනා කළහ.

පාර්ලිමේන්තුව ආරම්භයේදී අදහස් දක්වමින් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ, කතානායක කරු ජයසූරියට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය චෝදනා එල්ල කළ ද පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව කතානායකවරයාගේ තීන්දු අභියෝගයට ලක් කිරීමට කිසිවෙකුට නොහැකි බවය.