ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව කතානායක ජනපතිට දන්වයි
රජයට එරෙහිව සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බව කතානායක කරු ජයසූරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දැනුම් දීමට පියවර ගත් බව කතානායක කාර්යාලය නිවේදනය කළේය.
විශ්වාස භංග යෝජනාව
සිකුරාදා (16) දින සම්මත වූ විශ්වාස භංග යෝජනාවේ, "ගරු කතානායකවරයා විසින් නිකුත් කරන ලද 2018 නොවැම්බර් මස 15 වන දින දරන නිවේදනය ප්‍රකාරව 2018 නොවැම්බර් මස 14 වන දින ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවේ අංක 02 දරන යෝජනාව සම්මත වූ හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) ව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලය විසුරුණු බවට වන නිල ප්‍රකාශය මෙම ගරු සභාව පිළිගන්නා අතර,
මෙම ගරු සභාව 2018 ඔක්තෝබර් මස 26 දින සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ගරු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බව යෝජනා කර සිටියි," යනුවෙන් සඳහන් වන බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මින් පෙර වාර්තාකරණය
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහි නව විශ්වාස භංගය සම්මත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව දෙවන වරටත් පාර්ලිමේන්තුවේදී සම්මත වූ බවය.
මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ මලික් සමරවික්‍රම ද තහවුරු කළහ.
දෙවන වාර්තාකරණය
පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබූ අතර කතානායක කරු ජයසූරිය පොලිස් ආරක්ෂාව යටතේ වෙනත් ස්ථානයක සිට පාර්ලිමේන්තුවේ කටයුතු මෙහෙයවීමට තීරණය කර තිබේ.
ඒ අනුව පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් පාර්ලිමේන්තු සභා ගැබට ඇතුළු වූහ.
කතානායකවරයා තීරණය කර ඇත්තේ, විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටය.
මේ අතර, පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති අනුව කටයුතු කරන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉල්ලා තිබිණි.
ඔහු එහි සඳහන් කර ඇත්තේ, කිසිදු හේතුවක් මත පාර්ලිමේන්තුව කල් නොතබන බවය.
පාර්ලිමේන්තුවට පොලිස් ආරක්ෂාව ද යොදවා ඇති අතර එහිදී මහින්ද රාජපක්ෂට පාර්ශවයට සහය දක්වන මන්ත්‍රීවරුන් සහ පොලිසිය අතර ගැටුමක් ද ඇති විය.
එම තත්ත්වය උද්ගත වී ඇත්තේ, මහින්ද රාජපක්ෂට සහය පළ කරන මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක ආසනය වට කරගෙන කරු ජයසූරියට එම ආසනයේ අසුන් ගැනීමට ඉඩ නොදීම හේතුවෙනි.
පළමු වාර්තාකරණය:
අප වාර්තාකරු පැවසුවේ, කතානායක ආසනය මත පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු වාඩි වී සිටි බවය.
මේ අනුව, පස්වරු 1.30 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුවේ කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි විය.
කියවන්න:
තමන් ව්‍යවස්ථාව කඩවන අන්දමේ කටයුත්තක් නොකරන බවත්, ඒ අනුව නැවත පාර්ලිමේන්තුව කල් දැමීමට අපේක්ෂා නොකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා (නොවැම්බර් 15) සවස පක්ෂ නායකයන් සමග පැවති හමුවේදී ප්‍රකාශ කළ බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.
බදාදා ඉදිරිපත් කළ විශ්වාස භංගයේ පළමු කරුණ තමන්ට එරෙහිව ඉදිරිපත් වූවක් බැවින් සහ පිළිගත නොහැකි කරුණක් බැවින් අලුත් විශ්වාස භංග යෝජනාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා මෙම හමුවීමේදී පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
නැවත විශ්වාස භංගයක් ඉදිරිපත් කර සම්මත කරගන්නේ නම් එය පිළිගැනීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා සඳහන් කළ බවත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැවසීය.
එබැවින් සිකුරාදා (නොවැම්බර් 16) නැවත වතාවක් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ද ඔහු පැවසීය.