ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ලෙස එස් බී දිසානායක පත්කෙරේ
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය එස් බී දිසානායක පත්කර ඇති අතර ඔහු සිකුරාදා පාර්ලිමේන්තුවේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර, තවත් අමාත්‍ය ධුර කිහිපයක් සඳහා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් බ්‍රහස්පතින්දා (08) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්හ.
එහිදී, කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙක් දිවුරුම් දුන්හ.
- බන්දුල ගුණවර්ධන - ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
- සුසිල් ප්‍රේම්ජයන්ත - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය
- ලක්ෂ්මන් වසන්ත පෙරේරා - ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
- එස් එම් චන්ද්‍රසේන - සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
- සාලින්ද දිසානායක - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
- සී බී රත්නායක - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
- අනුර ප්‍රියදර්ශන යාපා - මුදල් රාජ්‍ය අමාත්‍ය
මේ ගැනත් කියවන්න:
මේ අතර, තවත් අමාත්‍යවරුන් තිදෙනෙක් බදාදා (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්හ.
එහිදී,
- චමල් රාජපක්ෂ - සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
- පවිත්‍රා වන්නිආරච්චි - ඛණිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍යවරිය
- එස් බී දිසානායක - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්හ.
ඒ අනුව, මේ වන විට කැබිනට් අමාත්‍ය ධුර 18 ක්, රාජ්‍ය අමාත්‍ය ධුර 15 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර 9 ක් සඳහා අමාත්‍යවරුන් දිවුරුම් දී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව පත් කළ යුතු කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 කි. මේ අනුව මේ මොහොත වනවිටත් කැබිනට් අමාත්‍ය ධූර 12 ක් සඳහා අවකාශ තිබේ.
තවදුරටත් කියවන්න:
14 වන දා පාර්ලිමේන්තුව රැස් කිරීමට පෙර සියලු අමාත්‍ය ධුර සඳහා මන්ත්‍රීවරුන් පත් කරන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ බදාදා (07)පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේය.
එතෙක් එම අමාත්‍යංශවල පාලන කටයුතු අමාත්‍යංශ ලේකම්වරුන් යටතේ සිදුවන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.
14 වන දා මොක ද වෙන්නේ?
මේ අතර, පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත එළැඹෙන නොවැම්බර් මස 14 වන දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා බදාදා පස්වරුවේ පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන හමුවක් කථානායක කාර්යාලයේදී පැවැත්විණි.
එම හමුවේදී රජයේ ස්ථාවරය වූයේ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ජනාධිපතිවරයාගේ කැඳවීමේ නියෝගය සභාවට කියවීමෙන් පසු දවසේ වැඩ කටයුතු අවසන් කර එදිනට සභාව කල්තැබිය යුතු බවය.
එහෙත්, අනෙකුත් පක්ෂ නියෝජිතයන් එම මතයට "ප්‍රතිවිරුද්ධ අදහසක් දැරූ අතර" එදිනට නියමිත වැඩ කටයුතුවලට අමතරව "ස්ථාවර රජයක් පිළිබඳව බහුතරයේ මතය පාර්ලිමේන්තුව තුළ විමසා බැලිය යුතු බවට" එම පාර්ශවය ඉල්ලා සිටි බව කතානායක කර්යාලය නිකුත් කළ නිවේදයක දැක්වේ.
එහිදී කථානායකවරයා ස්වකීය ස්ථාවරය ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 116 දෙනෙකු ලිඛිතව මින් පෙරද තමා වෙත ලබා දී ඇති පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින්, සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව එදින ම ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බවය.
කතානායක කාර්යාලය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය;
ඇමරිකාවෙන් සිහිකැඳවීමක්
මේ අතර, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වහා යළි කැඳවන ලෙස ඇමෙරිකානු රජය යළිත් වරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දන්වා තිබේ.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෙදර් නාවර්ට් (Heather Nauert) ට්විටර් පණිවුඩයක් පළ කරමින් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති දේශපාලන අර්බුදය සමනය කිරීම සඳහා පාර්ලිමේන්තුව රැස් කළ යුතු බවය.
පාර්ලිමේන්තුව රැස් කිරීම තවදුරටත් ප්‍රමාද කළහොත් රට තුළ අස්ථාවරභාවයක් ඇති වීමේ වාතාවරණයක් ගොඩ නැගෙනු ඇතැයි ඇය පෙන්වා දී තිබේ.
ඒ හරහා ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර කීර්ති නාමය පළුදු විය හැකි බවත්, යහපාලනය, ස්ථාවරත්වය සහ සෞභාග්‍යය පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව තුළ ඇති අපේක්ෂාවන් බිඳ වැටෙනු ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෙදර් නාවර්ට් වැඩිදුරටත් පවසා ඇත.