ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: පාර්ලිමේන්තුව යළි කැඳවන දිනය පිළිබඳ මත දෙකක්
පාර්ලිමේන්තුව කැඳවන දිනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතෙක් නිල වශයෙන් තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ඔවුන් මේ බව ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව නොවැම්බර් 5 වෙනිදා නැවත කැඳවන බවට මාධ්‍ය වාර්තා පළවෙමින් තිබියදීය.
මේ අතර, කතානායක මාධ්‍ය අංශය සඳහන් කළේ, සිය කාර්යාලයට ද පාර්ලිමේන්තුව විවෘත කරන දිනයක් පිළිබඳ දැනුම් දී නොමැති බවය.
පාර්ලිමේන්තුව නොවැම්බර් 5 හෝ 7 විවෘත කරන ලෙසට ඉල්ලීමක් කර ඇතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැතැයි කතානායක කාර්යාලය සඳහන් කළේය.
"නොවැම්බර් 5 කැඳවනවා"
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව කල් දැමීම අවලංගු කර නොවැම්බර් 5 වෙනි දා පාර්ලිමේන්තුව විවෘත කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇති බව ජනාධිපතිවරයා විසින් පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසීය.
"නොවැම්බර් 5 වෙනි දා පාර්ලිමේන්තුව විවෘත කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර තියෙනවා."
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, බ්‍රහස්පතින්දා (01) පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේය.
මේ ලිපිත් කියවන්න:
අගමැති පුටුව කාට ද?
පාර්ලිමේන්තුව යළි විවෘත කරන ලෙස යළිත් ඉල්ලීමක් කිරීම සඳහා කතානායක කරු ජයසූරිය බදාදා (31) සවස ජනාධිපතිවරයා හමු විය.
එහිදී ඔහු පවසා තිබුණේ, මන්ත්‍රීවරුන් 126 දෙනෙකු යළි පාර්ලිමේන්තුව කැඳවන ලෙසට තමන්ගෙන් ඉල්ලීම් කර ඇති බවය.
කතානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ, පාර්ලිමේන්තුව කැඳවන ලෙසට කතානායක කරු ජයසූරිය කළ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා අද (01) තීරණයක් දෙනු ඇති බවට අපේක්ෂා කරන බවය.
තවදුරටත් කියවන්න:
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති හෙයින් පාර්ලිමේන්තුව විවෘත කරන දිනයේදී අග්‍රාමාත්‍ය ආසනය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වෙන් කිරීමට පියවර ගන්නා බව ද කතානායක මාධ්‍ය ඒකකය දැනුම් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂය 'සතුටෙන්'
මේ අතර, නොවැම්බර් 5 වන දා පාර්ලිමේන්තුව කැඳවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සතුට පළ කරයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂය සිකුරාදා පාර්ලිමේන්තුව රැස් කරන ලෙස ඉල්ලා සිටිය ද, 5 වෙනි දා හෝ එය විවෘත කිරීම සතුටට කරුණක් බවය.
"අපිට මන්ත්‍රීවරුන් 124 දෙනෙකුගේ සහය තියෙනවා. අපි පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන බව සඳුදා ඔප්පු කරනවා," ඔහු ප්‍රකාශ කළේය.
බහුතරය කාට ද?
මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සහය දුන් මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ සහය ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමත් වී ඇති අතර, පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත පෙන්වීම සඳහා ඔහුට තවත් මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගේ සහය අවශ්‍ය වී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ දැනටමත් පවසා ඇත්තේ, සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීනව සිටින බවය.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ බහුතරය විමසීමේදී කුමන පාර්ශ්වයකට සහය පළ කරයි ද යන්න මෙතෙක් තහවුරු කර නොමැත.
මේ අතර, රජයේ සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ, අවශ්‍ය අවස්ථාවට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය පියවර ගන්නා බවය.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය අනුව අග්‍රාමාත්‍යවරයෙකු පත් කෙරෙන ආකාරය පහත දැක්වේ.