ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාර්ලිමේන්තුව කැඳවන්න කතානායකට පුළුවන් - රනිල්: මහින්ද අගමැති ධුරයේ වැඩ භාර ගනී
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව කැඳවීමේ බලය කතානායකවරයා සතුව පවතින බව රනිල් වික්‍රමසිංහ සඳුදා (29) දහවල් කොළඹදී විදෙස් මාධ්‍යවේදීන් සමග පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
ඔහු ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අඟහරුවාදා (30) පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බවය.
"මම කියන්නේ, පාර්ලිමේන්තුව කැඳවලා මෙම ප්‍රශ්නය නිරාකරණය කරන්න ඉඩ දෙන්න කියලා. ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වැඩි බලය මහින්ද රාජපක්ෂට ලැබුණොත් ඔහු අගමැති වෙයි. මට බහුතරය ලැබුණොත් මට අගමැති විදියට වැඩ කරගෙන යන්න පුළුවන්," ඔහු පැවසීය.
"මට විශ්වාසයක් තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරය මට ලැබෙන බවට," රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
සබැඳි පුවත්:
කෙසේ වෙතත්, මහින්ද රාජපක්‍ෂ අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තේය. ඒ, කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය.
මේ අතර, පාර්ලිමේන්තුව වහා කැඳවා රටේ අග්‍රාමාත්‍යවරයා කවුරුන් ද යන්න තෝරා ගැනීමට ඉඩ සලසන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට දැනුම් දී තිබේ.
එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෙදර් නොවර්ට් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ශ්‍රී ලාංකිකයින්ගේ පාර්ලිමේන්තු නියෝජිතයින්ට රජයේ ප්‍රධානියා කවුරුන් ද යන්න තහවුරු කිරීම සඳහා ඉඩ ලබා දිය යුතු බවය.
ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව අමෙරිකාව අඛණ්ඩ අවධානයෙන් පසු වන බව ද එහි සඳහන් වේ.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශක ස්ටීවන් ඩුජරික් (Stephane Dujarric) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැඩි අවධානයෙන් පසු වන බවය.
ව්‍යවස්ථාවට සහ රටේ නීතියට ගරු කරමින් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද එම නිවේදනය මගින් දැනුම් දී තිබේ.
තවත් පුවත්:
මේ අතර, කතානායක කරු ජයසූරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යවමින් පවසා ඇත්තේ, "නොවැම්බර් 16 වන දා තෙක් දින 20 ක් පාර්ලිමේන්තුව අක්‍රියව පැවතීම තුළින් රටට දැඩි අහිතකර වාතාවරණයක් උද්ගත වීමට ඉඩ නොතබන ලෙස,"ය.
එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.
මේ අතර, විපක්ෂ නායක ආර් සම්බන්ධන්, ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ, ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුව කැඳවන ලෙසය.
මේ අතර, "මෙවැනි තීරණාත්මක වාතාවරණයක් තුළ සැසි වාර අවසන් කිරීමක් මගින් පාර්ලිමේන්තුව මෙම සංවාදයෙන් බැහැර කොට තැබීම කිසිසේත් ම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර තත්ත්වයක් නොවන," බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් කතානායකවරයා වෙත යැවූ ලිපියක දැක්වේ.
එහි සඳහන් වන්නේ, "මෙම තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින," බවය.
මේ අතර, රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක භටයින් ඉවත් කර ඔහුගේ ආරක්ෂාවට භටයින් 10 දෙනෙකු පමණක් යොදවන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුම් දී තිබේ.
මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් කොළඹ රදගුරු දිලෝරාජ් ආර් කනගසබෙයි සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා ලෙස ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමටත්, ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් කටයුතු කරන බවට දිවුරුම් දීමේදී කළ ප්‍රකාශ අනුවත් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින බවය.
ඉන්දීය රජය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි දැක්වුණේ, ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ව්‍යවස්ථානුකූල ක්‍රියාවලියක් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බවය.
ශ්‍රී ලංකාවේ මිත්‍ර රටක් ලෙස මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන අතර, තවදුරටත් ශ්‍රී ලංකාවට සහය වීමට සූදානම් බව ද එහි දැක්වේ.