ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධනට එරෙහිව සාක්ෂි දුන් "නාවික ලුතිනන් කමාන්ඩර් වරයෙකුට ජීවිත තර්ජන"

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න

2008 වසරේ තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව සම්බන්ධ පරීක්ෂණයේ සැකකරුවෙකුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා එල්ල වී සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාට එරෙහිව සාක්ෂි ලබාදුන් නාවික ලුතිනන් කමාන්ඩර් වරයෙකුට ජීවිත තර්ජන එල්ල වී ඇතැයි පොලිසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ බව සඳහන් කළේ, කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලින් දෙමළ හා මුස්ලිම් තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාවට අදාළ පැමිණිල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ බදාදා (26) කැඳවූ අවස්ථාවේ දීය.

නඩුවේ ප්‍රධාන සැකකරුවකුවන 'නේවි සම්පත්' හෙවත් ලූතිනන් කමාන්ඩර් සම්පත් හෙට්ටිආරච්චිට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධනට එරෙහි පරීක්ෂණයක් පැවැත්වෙන අතර, ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි එම පරීක්ෂණයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව සාක්ෂි ලබා දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

එසේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව සාක්ෂිකරුගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇතැයි සඳහන් කළ පොලිසිය, ඔහු මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර එහි පිටපතක් තමන් වෙත ලබාදී ඇති බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිසියට නියෝග කළේය.

අතුරුදහන් වූ රජීව් නාගනාදන් ගේ මව, සරෝජා නාගනාදන්
ඡායාරූප ශීර්ෂ වැකිය, අතුරුදහන් වූ රජීව් නාගනාදන් ගේ මව, සරෝජා නාගනාදන්

මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට තීරණය කර ඇති බව පැවසීය.

අදාළ සැකකරුට පොලිසිය මග හැර රටින් පළායාම සඳහා අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න උපකාර කර ඇති බවට සාක්ෂි ඇතැයි පොලිසිය දැනුම්දීමෙන් අනතුරුව, ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් ඔහු අත්ඩංගුවට ගන්නා මෙන් මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවකදී අධිකරණය පොලිසියට නියෝග කර තිබිණි.

ප්‍රකාශයක් ලබාගැනීම පිණිස සැප්තැම්බර් 10 සඳුදා දින කැඳවා තිබු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා එදිනම උදෑසන නොදන්වා විදේශගතව තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 12 වෙනි දින අධිකරණයට දැනුම් දුන්නේය.

එසේම, ශ්‍රී ලංකාවට පැමිණි පසු ප්‍රකාශයක් ලබාදෙන බව අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න එදින තමන්ට දන්වා ඇතැයි ද එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කරන මෙන් පොලිසියට උපදෙස් ලබාදුන් මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ලුතිනන් කමාන්ඩර් සම්පත් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නැමැත්තා ඔක්තෝබර් 10 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළාය.