රවීන්ද්‍ර විජේගුණරත්න විදෙස්ගතවීම තහනම් කළ යුත්තේ අධිකරණයයි - ශිරාල් ලක්තිලක

ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ පරීක්ෂණය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා පසුගිය සඳුදා (සැප් 10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා සිටි ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ශ්‍රී ලංකාවෙන් පිටව යාම මහත් අවධානයට ලක් වී තිබේ.

අදාළ පරීක්ෂණයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන 'නේවි සම්පත්' හෙවත් ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චිට පොලිසිය මග හැර රටින් පළා යාම සඳහා අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න උපකාර කළ ඇති බවට සාක්ෂි ඇතැයි පොලිසිය දැනුම්දීමෙන් අනතුරුව, ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් ඔහු අත්ඩංගුවට ගන්නා මෙන් අධිකරණය පොලිසියට නියෝග කර තිබිණ.

එහෙත් අද්මිරාල්වරයා රටින් පිටව ගොස් තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම පිණිස ඔහු පොලිසියට කැඳවා තිබුණු අවස්ථාවේය.

ඉහත කී අධිකරණ නියෝගය දී දින ගණනාවක් ගතවී තිබුණත් ඔහු අත්අඩංගුවට නොගැනුණ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබානොදී රටින් පිටව යාම පිළිබඳ විවිධ මත පළ විය.

සාධාරණ සමාජයක් සඳහාවූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය ඒ ගැන අදහස් දක්වමින් පැවසුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව විදේශගත විය නොහැකි බවය.

මහාචාර්ය සරත් විජේසුරිය

රටේ ඉහළම හමුදා නිලධාරියාට ඒ ආකාරයෙන් පොලිස් පරීක්ෂණයක් මග හැර රටින් පිටවීමට ආරක්ෂක අමාත්‍යවරයා සහ රටේ සේනාධිනායකයා වන ජනාධිපතිවරයා අනුමැතිය පළ කළේ ද?

ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට විදේශගතවීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය නොවන බවය.

"ලංකාවේ රාජ්‍ය සේවයේ ඉන්න සියලු දෙනාම තමන්ගේ අංශ ප්‍රධානියාට තමයි දැනුම් දෙන්න ඕන. ඔහුගේ අංශ ප්‍රධානියා කියන්නේ ආරක්ෂක ලේකම්වරයා. ඔහුට දැනුම්දීම ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම්දීම හා සමානයි."

කිසියම් ලෙසකින් ඔහු රටින් පිටවීම වැළැක්විය යුතුව තිබුණේ නම් ඒ සඳහා කළ යුතුව තිබුණේ ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීම බව ද නීතිඥ ශිරාල් ලක්තිලක සඳහන් කළේය.

"අධිකරණ නියෝගයක් නැහැනේ මාණ්ඩලික ප්‍රධානියා රට යාම වළක්වන්නයි කියල."

ඔහු කිසිදු ආකාරයකින් රටින් පලා ගොස් නැති බව ද ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා පැවසීය.

2008 අගෝස්තු 08 වෙනිදා සිට සැප්තැම්බර් මස 17 වෙනිදා අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටී.

එම පරීක්ෂණවලට අදාළව 'නේවි සම්පත්' හෙවත් හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.

  • 2008.09.17 පාසල් වයසේ දරුවන් 5 ක් ඇතුළු පුද්ගලයන් 11 ක් අතුරුදන් වූහ.
  • 2016.09.06 හිටපු නාවික හමුදා ප්‍රකාශක ඩි.කේ. පී. දසනායක විදෙස් ගතවන්නට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
  • 2017.07.12 නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩි.කේ.පි. දසනායක අත්අඩංගුවට පත්විය.
  • 2017 ජූලි 4 බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම සඳහා වූ පනතට ඒකාබද්ධ විපක්ෂය සිය විරෝධය පළකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
  • 2018.01.09 නාවික හමුදා නිලධාරී සම්පත් මුණසිංහ දැනටමත් ඇප මත මුදාහැර තිබියදී හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩීකේපී දසනායක ඇතුළු නාවික හමුදා නිලධාරීන් හයදෙනා ඇප මත මුදාහැරීම පිළිබඳව නීතිපතිවරයා විරෝධය පළ කළ අවස්ථාවේ, නීතිපතිගේ ස්ථාවරය "උභතෝකෝටික ප්‍රශ්නයක්" බව විනිසුරු ප්‍රකාශ කරයි.
  • 2018.01.09 රිමාන්ඩ් භාරයට පත්කර තිබූ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩීකේපී දසනායක ඇතුළු නාවික හමුදා නිලධාරීන් හය දෙනා රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප 3ක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මේ අතර අදාළ නඩුව බදාදා (සැප්තැම්බර් 12) යළි කැඳවූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දීමක් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ශ්‍රී ලංකාවට පැමිණි පසු ප්‍රකාශයක් ලබාදෙන බව දන්වා ඇතැයි සඳහන් කළේය.

ප්‍රකාශයක් ලබාගැනීම පිණිස ඔහු පසුගිය සඳුදා දින කැඳවා තිබු නමුත් එදින උදෑසන ඔහු නොදන්වා විදේශ ගතව තිබු බව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ආරක්ෂක සමුළුවක් සඳහා විදේශ ගතවූ බවත් ලබන 19 වෙනිදායින් පසු ප්‍රකාශයක් දෙන බව අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙන බවද සඳහන් කළේය.

"අවුරුදු නවයක් පුතාව හොයාගෙන නොගිය තැනක් නැහැ"

රජය වෙනුවෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මෙක්සිකෝව බලා පිටත්ව ගොස් ඇත්තේ එරට ආරක්ෂක ඇමැතිවරයාගෙන් ලද ආරාධනයකට අනුව බවය.

මේ අතර පොලිසිය මගහැර රටින් පිටව ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනුණු 'නේවි සම්පත්' හෙවත් ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි බදාදා යළි අධිකරණයට ඉදිරිපත් කෙරිණ. ඔහු ලබන 26 දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස මහේත්‍රාත්වරිය නියෝග කළේය.

කෙසේ වුවත් තරුණයන් පැහැර ගැනීම සම්බන්ධ පොලිස් පරීක්ෂණ ක්‍රියාදාමය ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලකගේ විවේචනයට ලක්විය.

"මම කියන්නේ තරුණයන් 11 දෙනා අතුරුදහන්වීම පිළිබඳ නඩුවේ ප්‍රධාන ප්‍රශ්නය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමේ ප්‍රශ්නයෙන් යටපත් කරන්නේ නැතිව පොලිසිය වහාම කළ යුත්තේ ඔය නේවි සම්පත්ට විරුද්ධව අධි චෝදනා පත්‍ර භාරදීම මහාධිකරණයට," ඔහු පැවසීය.

"අවුරුදු තුනක් මේ ගැන සාක්ෂී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තියෙනව."

මේ අතර චෝදනා ලබා සිටින හමුදා භටයන් සම්බන්ධ පරීක්ෂණ සඳහා පොලිසියට සහාය නොදෙන මෙන් පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුදා ප්‍රධානීන්ට නියෝග කළ බව මාධ්‍ය වාර්තාවල දැක්විණ.

ආරක්ෂක මණ්ඩලයේ රහසිගත සාකච්ඡා පිළිබඳ තමන්ට දැනුමක් නැති බව ඒ පිළිබඳ කළ විමසීමකදී බීබීසී සිංහල සේවය සමග කියා සිටි නීතිඥ ශිරාල් ලක්තිලක කෙසේ වුවත් රාජ්‍ය රහස් හා අදාළ තොරතුරු අධිකරණයක් ඉදිරියේ ඉදිරිපත් කිරීමට පෙර "කිසියම් පෙරණයකට" ලක් කළ යුතුය යන්න තමන්ගේ මතය බව වැඩිදුරටත් පැවසීය.

තවත් කියවන්න: