කාන්තාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් සියයකට වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික රැඳවුම් භාරයේ

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පිවිස, සංක්‍රමණික රැඳවුම් භාරයේ පසුවන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය මේවන විට 103 ක් බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නවතම වාර්තාවල සඳහන්වේ.

අමාත්‍යාංශය අවසන් වාර්තාව නිකුත් කළ පසුගිය මැයි 31 වෙනි දින වනවිට, පුරුෂයන් 98 ක් සහ ස්ත්‍රීන් 5 ක් ද රැඳවුම් භාරයේ පසුවේ.

කෙසේවුවද, 2013 වසරට සාපේක්ෂව ගත් කළ එය විශාල අඩුවීමකි. එම වසරේ සිරභාරයේ පසුවූ ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 974 ක් විය.

පුරුෂයන් 692 ක් ද, කාන්තාවන් 127 ක් සහ දරුවන් 155 ක් ද එයට ඇතුළත් විය. ඒ අනුව 2013 වසරේ ඕස්ට්‍රේලියානු සංක්‍රමණික නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් රැඳවුම් භාරයේ පසුවූ වැඩිම පිරිස පැමිණි රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාවට දෙවෙනි ස්ථානය හිමිවූ අතර, ඉරානය පළමු ස්ථානයේ පසුවිය.

2014 වසර වනවිට රැඳවුම් භාරයේ පසුවූ ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 206 දක්වා අඩුවූ අතර, 2015 වනවිට එය 144 ක් දක්වා තවදුරටත් අඩු විය. 2016 වනවිට 86 ක් වූ ලෙස තවදුරටත් අඩුවූ නමුත්, එතැන් සිට එළැඹි දෙවසර තුළ යම් වැඩිවීමක් සිදුවූ බව සංඛ්‍යාලේඛනවල දක්නට ලැබේ; පිළිවෙලින් ශ්‍රී ලාංකිකයන් 105 ක් සහ 104 ක් වශයෙන් 2017 සහ 2018 වසරවලදී වාර්තා විය.

මේ අතර, ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තාවලට අනුව, සංක්‍රමණික නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නිවාස අඩස්සියේ රඳවා ඇති ශ්‍රී ලාංකිකයන් ද සිටින අතර ඔවුන්ගේ ද විශාල අඩුවීමක් පසුගිය වසර කීපය තුළ දකින්නට ලැබේ.

2013 වසරේ ශ්‍රී ලාංකිකයන් 801ක් එලෙස නිවාස අඩස්සියේ පසුවූ අතර 2018 මැයි 31 දින වන විට එය 37 ක් දක්වා අඩුවී තිබේ. එය, එරට සංක්‍රමණික හේතු මත නිවාස අඩස්සියේ පසුවන සමස්තයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට 10.1% කි.

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ 2018 වසරේ නවතම වාර්තාවට අනුව සංක්‍රමණික නීති උල්ලංඝනය කරමින් ලොව විවිධ ජාතීන් නියෝජනය කරන පුද්ගලයන් 382 ක් බෝට්ටු මගින් සහ ගුවනින් එරටට ඇතුළුවී තිබේ.

මීට අමතරව නීත්‍යානුකූළ ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණ පසුව ඔවුන්ගේ වීසා අවලංගු වීම හේතුවෙන් හෝ වීසා සීමා නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් විවිධ රටවලට අයත් පුද්ගලයන් 962 ක් ද රැඳවුම් භාරයේ පසුවෙති.