ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික කඳවුරක ගැටුම්

පැපුවා නිව් ගිනියාවේ මැනුස් රැඳවුම් කඳවුර (සංක්‍රමණ හා පුරවැසි කටයුතු පිලිබඳ ඔස්ට්‍රේලියානු දෙපාර්තමේන්තුව)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පැපුවා නිව් ගිනියාවේ මැනුස් රැඳවුම් කඳවුර (සංක්‍රමණ හා පුරවැසි කටයුතු පිලිබඳ ඔස්ට්‍රේලියානු දෙපාර්තමේන්තුව)

දේශපාලන රැකවල් පතා පැමිණෙන්නන් රඳවා තබන කඳවුරක දින කීපයක් පැවැති උද්ඝෝෂණ වලින් අනතුරුව පළා ගිය අය අතුරින් අට දෙනකු අත් අඩංගුවට ගන්නා ලද බව ඔස්ට්‍රේලියානු රජය පවසයි.

PNG ලෙසින් හඳුන්වන පැපුවා නිව් ගිනියාවේ මැනුස් දුපතේ රැඳවුම් කඳවුරේ ඉරිදා සවස් යාමයේ සිදුවීම එරට ආගමන විගමන කටයුතු අමාත්‍යංශය විසින් හඳුන්වනු ලැබූයේ කලබලයක් ලෙසින්.

සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පැවසුවේ එය අනාගතය පිලිබඳ පැහැදිලි පිළිතුරක් නො ලද රැඳවියන් ගේ විරෝධතාවක් බවයි.

පලා ගිය තිස් පස් දෙනකු කල් නොයවා ම අත් අඩංගුවට ගත හැකි වූ බවයි සංක්‍රමණ කටයුතු භාර අමාත්‍ය ස්කොට් මොරිසන් කැන්බරා අගනුවර දී මාධ්‍ය වේදීන් අමතා කියා සිටියේ.

මේ මස මුල දී රැඳවියන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න වලට පිළිතුරු දීමට බලධාරීන් ඉරිදා ගිය විට හට ගත් උණුසුම් තත්වය කලබලකාරී අතට හැරුණු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

යන එන මං නැතිවී

ඕස්ට්‍රේලියානු සංක්‍රමණ පිළිවෙතට එරෙහිව සිඩ්නි නුවර පැවති උද්ඝෝෂණයකින්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඕස්ට්‍රේලියානු සංක්‍රමණ පිළිවෙතට එරෙහිව සිඩ්නි නුවර පැවති උද්ඝෝෂණයකින්

රඳවා සිටින පුද්ගලයන්ට පැපුවා නිව් ගිනියාවේ වාසය කිරීමේ අවසර ලබා නො දෙන බවට සාකච්ඡාවේ දී උපදෙස් දුන්නේ යයි පල වන වාර්තා අසත්‍ය බව අමාත්‍ය මොරිසන් ප්‍රකාශ කළේය.

දේශපාලන රැකවරණ ලබන අයට PNG වාසයට අවසර ලැබෙනු ඇතැයි පෙබරවාරි 16 වැනිදා රැස්වීමේ දී PNG සංක්‍රමණ හා පුරවැසි කටයුතු අමාත්‍යංශය රැඳවියන් ට දැනුම් දුන් බවයි ඔහු පැවසුවේ.

කෙසේ වෙතත්, වෙනත් රටකට යාමට ඕස්ට්‍රේලියා හෝ පැපුවා නිව් ගිනීයා රජය රැඳවියන්ට සහාය නොදෙන වග සාකච්ඡාවට ගිය සංක්‍රමණ නිලධාරී ෆ්‍රෙඩ්රික් කෙන්ගාලි තහවුරු කළේ යැයි ද අමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේය.

බලධාරීන් ගේ ප්‍රකාශයෙන් අසහනයට පත් රැඳවියන් ජනවාරියේ සිට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුනු තමන්ට යන එන මං මුළුමනින් ම අහිමි වී ඇතැ'යි විරෝධතාව උත්සන්න කළ බවයි ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවල් පතන්නන් සඳහා වන ක්‍රියාකාරී කමිටුව පවසන්නේ.

ශ්‍රී ලාංකිකයන්

මුහුදු මගින් ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතා පැමිණෙන්නන්

ඡායාරූප මූලාශ්‍රය, none

ඡායාරූප ශීර්ෂ වැකිය, මුහුදු මගින් ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතා පැමිණෙන්නන්

කමිටුවේ සම්බන්ධීකාරක ඉයන් රින්ටූල් බීබීසී සංදේශය හා කියා සිටියේ දේශපාලන රැකවරණ පතා මුහුදු මගින් පැමිණ මැනුස් කඳවුරේ රඳවා සිටින 1300ක් පමණ දෙනා අතර ශ්‍රී ලාංකිකයන් ද ඉන්නා බවයි.

කඳවුර තුල සුළු අලාභ හානි සිදු වුනත් රැඳවියන් පාලනය සඳහා බැටන් පොලු හෝ කිසිදු ආයුධයක් හෝ ආරක්ෂාව භාර G4S සමාගම විසින් භාවිත කොට නැති බවයි අමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ.

ආරක්ෂක භටයන් අවි ආයුධ යොදා නො ගත් බවට සංක්‍රමණ කටයුතු භාර ඕස්ට්‍රේලියානු අමාත්‍යවරයා පවසන තොරතුරු ප්‍රතික්ෂේප කරන දේශපාලන රැකවල් පතන්නන් සඳහා වන ක්‍රියාකාරී කමිටුවේ සම්බන්ධීකාරක ඉයන් රින්ටූල් කිහිප දෙනකුගේ අත් කඩා දමා ඇතැ’යි දැන ගන්න ට ලැබුණු බව පැවසීය.

බැටන් ප්‍රහාර

බැටන් පොලු හෝ ගල් වලින් හෝ පහර දීම ඊට හේතුව බවයි ඔහු පවසන්නේ.

“එක මිනිසකුගේ ඔලුව හරහා විශාල කැපුමකට මැහුම් හැත්තෑවක් දාලා තියනවා. සමහර අයගේ තුවාල පිහි පාරවලින් වගේ.”

හිංසාවේ පරිමාව සැඟවීම සඳහා තුවාල ලද ඇතැමුන් රෝහලින් ඉවත් කොට තබා ඇති බවට කමිටු සම්බන්ධීකාරක ඉයන් රින්ටූල් චෝදනා කරයි.

අමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාවේත් පැපුවා නිව් ගිනියාවේත් සංක්‍රමණ කටයුතු භාර දෙපාර්තමේන්තු විසින් පූර්ණ පරීක්ෂණයක් පවත්වනු ලබන බවයි.