ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා සංක්‍රමණිකයන්ගේ ශීඝ්‍ර වර්ධනයත් සමග ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 25 ක්

GETTY IMAGES

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නිල ඇස්තමේන්තු අනුව ඕස්ට්‍රේලියාවේ ජනගහණය අඟහරුවාදා වනවිට (අගෝස්තු 07) මිලියන 25 ට ලඟා විය.

ඕස්ට්‍රේලියාවේ ජනගහණය එසේ ඉහළ යාමට ප්‍රමුඛ හේතුවක් වී ඇත්තේ සංක්‍රමණිකයන්ය. එය ඕස්ට්‍රේලියාවේ "විශාල හෝ කුඩා" බව සහ නගරවල තදබදය පිළිබඳ සංවාදය නැවත මතු කිරීමට හේතුවී තිබේ.

ජනගහණය නොකඩවා වර්ධනයවීමට හේතුවූ සංක්‍රමණිකයන් ඉතා වේගයෙන් වැඩිවීම රටට තවදුරටත් වාසිදායක ද යන්න ද සංවාදයට බඳුන්ව පවතී.

2001 වසර වනවිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 50% ක්, යුරෝපීය සංක්‍රමණිකයන් වූ නමුත් 2016 වනවිට ආසියානු කලාපය යුරෝපා සංක්‍රමණිකයන් අභිබවායාමට සමත්වී තිබේ.

BBC

2011 වසරේ ඕස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ වාර්තා අනුව ඕස්ට්‍රේලියාවේ ජීවත්වන 26% ක් විදේශ රටවලදී උපත ලැබූවන්ය. ඒ අනුව ආසන්න වශයෙන් සෑම පුද්ගලයින් සිව්දෙනෙක්ගෙන් කෙනෙක් විදේශිකයෙකි.

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයෝ

පසුගිය වසර ගණනාව පුරා ශ්‍රී ලාංකිකයන්ගේ ආකර්ශනය හිමිවූ ඕස්ට්‍රේලියාවේ 2011 වසරේ කළ සංගණනයේදී, ශ්‍රී ලංකාවේ උපත ලද පුද්ගලයන් 86,413 ක් වාර්තා ගතවී ඇත.

එය ඊට පෙර කළ සංගණනය (2006) සමග සසඳන විට 38% ක වැඩිවීමකි. ඒ අනුව, මෑතක සිදුවූ ප්‍රවණතා මත දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය බෙහෙවින් ඉහළ ගොස් තිබේ යැයි විශ්වාස කළ හැකිය.

BBC

2001 වසරේ ඕස්ට්‍රේලියානු සංගණන වාර්තා අනුව ශ්‍රී ලාංකිකයන් 53,000 කට මදක් වැඩි පිරිසක් වාර්තාවී ඇති අතර 2011 දී එය 86 දහසක් ඉක්මවා වර්ධනය වී ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වාදේ.

සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ 2011 වාර්තා අනුව ශ්‍රී ලාංකිකයෙක් ඕස්ට්‍රේලියාවේ වාසය කරන කාල සිමාවේ සාමාන්‍යය වසර 13 කි.

BBC

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගෙන් 94% ක් ජීවත් වන්නේ ප්‍රධාන නගර ආශ්‍රිතවය. එම දත්ත අනුව ප්‍රධාන නගර ආශ්‍රිතව ජීවත්වීමට රුචියක් දක්වන ජාතිකයන් අතරින් ශ්‍රී ලාංකිකයන් ඉහළම රටවල් පහ අතරට ඇතුළත් වේ.

BBC

වැඩිම සංක්‍රමණිකයන් ජීවත්වන්නේ සිඩ්නි නගරයේවන අතර, දෙවෙනි වැඩිම ආකර්ශනය දිනාගත් නගරය මෙල්බර්න්ය. 2011 සංගණන වාර්තා අනුව මෙල්බර්න් නගරයේ පමණක් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සංක්‍රමණිකයෝ 42,000 ක් පමණ සිටියහ.

BBC

ජනගහණ වර්ධනය පිටුපස ඇත්තේ කුමක්ද?

ඕස්ට්‍රේලියාවේ පසුගිය වසරේ ජනගහණ වර්ධනය 388,000 ක් වූ අතර එය 1.6% ක ජනගහණ වර්ධනයකි. ඒ අතුරින්, 62% ක් සංක්‍රමණිකයන් වූ අතර 38% ක් (උපත් සංඛ්‍යාවෙන් මරණ සංඛ්‍යාව අඩු කිරීමෙන් ලැබෙන) ස්වභාවික ජනගහණ වර්ධනය වේ.

සංක්‍රමණිකයන් සීමා කිරීම

සංක්‍රමණිකයන් පාලනය කිරීම සම්බන්ධයෙන් කැපී පෙනෙන ක්‍රියාකාරීන් සහ සමහර රජයේ මන්ත්‍රීවරුන් පසුගිය මාස කීපය තුළම මේ සම්බන්ධයෙන් වැඩි හඬක් නගන්නට වූහ.

වසරකදී ඕස්ට්‍රේලියාව ලබාදෙන සංක්‍රමණික වීසා 80,000 කින් පමණ කපා දැමිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබොට් (Tony Abbott) වරක් පවසා තිබිණි.

නමුත්, සංක්‍රමණිකයන් සීමා කිරීමෙන් ආර්ථිකයට හානියක් වනු ඇතැයි ඕස්ට්‍රේලියාවේ මුදල් ඇමති ස්කොට් මොරිසන් (Scott Morrison) පවසයි.