
ශ්‍රී ලංකාවේ පොලීසිය සහ රහස් ඔත්තු සේවාවන් නිරන්තරයෙන්ම මිනිස් ජාවාරම්කරුවන් පසුපස හඹා යමින් සිටින බව බලධාරීහු පවසති
ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හට බරපතල දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදුවනු ඇතැයි දෙරටේම බලධාරීහු අනතුරු අඟවති.
ආගමන සහ පුරවැසිභාවය පිලිබඳ වැඩ බලන ලේකම් මාටින් බෝල්ස් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඔවුන් අත් අඩංගුවට ගෙන පිටුවහල් කිරීමේ අවදානමට මුහුණ පානු ඇති බවයි.
රැකියා අපේක්ෂාවෙන් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් වූ බව පවසන මාටින් බෝල්ස්, කෙසේ නමුත් එසේ පැමිණෙන කිසිවෙකුට හෝ ඕස්ට්‍රේලියාවේ රැකියා කිරීමේ අවස්ථාව ලැබෙනු නැති බව අවධාරණය කළේය.
ඔවුන් අත් අඩංගුවට පත්වනවා පමණක් නොව දින කිහිපයක් ඇතුලත යලි ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමේ අවදානමටද මුහුණ දෙන බවත් ඔහු පැවසීය.
මාධ්‍ය හමුවට එක්ව සිටි ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ පැවසුවේ, මිනිස් ජාවාරම මැඩලීමේ අටියෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ වැඩ බලන ලේකම් මාටින් බෝල්ස්ගේ සම සභාපතිත්වයෙන් කමිටුවක් පිහිටුවා ඇති බවයි.
ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කිරීමේ අපේක්ෂාවෙන් පෙළෙන්නවුන් මිනිස් ජාවාරමක යොදා ගන්නන් නීතියේ රැහැනට හසු කොට නොගෙන අනවසර සංක්‍රමණ මැඩලන්නේ කෙසේදැයි බීබීසී සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු කළ විමසීමකට පිළිතුරු දුන් අද්මිරාල් සමරසිංහ කියා සිටියේ ශ්‍රී ලංකාවේ පොලීසිය සහ රහස් ඔත්තු සේවාවන් නිරන්තරයෙන්ම මෙම ජාවාරම්කරුවන් පසුපස හඹා යමින් සිටින බවයි.












