
බොහෝ ශ්‍රී ලාංකික අනාථයන් ආර්ථික සරණාගතයන් බැවින් ඔවුන් වහාම යලි සිය රට යැවිය යුතු බව ඕස්ට්‍රේලියාවේ විරුද්ධ පක්ෂය පවසයි
ශ්‍රී ලාංකික දේශපාලන රැකවරණ පතන්නන් වහාම යලි සිය රට පිටත් කළ යුතු බවට විරුද්ධ පක්ෂය ඉදිරිපත් කරන යෝජනාවට ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුව සහ අනාථයන් පිලිබඳ ක්‍රියාධරයන්ගේ දැඩි විරෝධය පළ වී තිබේ.
බොහෝ ශ්‍රී ලාංකික අනාථයන් ආර්ථික සරණාගතයන් බැවින් ඔවුන් වහාම යලි සිය රට යැවිය හැකි අන්දමින් ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ අලුත් ගිවිසුමක් අත්සන් තැබිය යුතු බවයි, විරුද්ධ පක්ෂයේ නියෝජ්‍ය නායිකා ජූලී බිෂොප් ඒබීසී ගුවන් විදුලිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටියේ.
"මේ විදියේ අති භයානක මුහුදු ගමනක යෙදිල අපේ වෙරළට ලඟා වෙන බෝට්ටු නවත්වන්න අපි ක්‍රියාකරනවා, අපේ දේශසීමාව අපි ආරක්ෂා කරනවා කියන පණිවුඩය දෙන්න ඕස්ට්‍රේලියාව කටයුතු කළ යුතුයි," ඇය සඳහන් කළාය.
වැඩිදුරටත් කරුණු දැක්වූ විරුද්ධ පක්ෂ නියෝජ්‍ය නායිකා ජූලී බිෂොප් : "අපි දන්නවා මේ බෝට්ටු නවත්වන්න ශ්‍රී ලංකා ආණ්ඩුව ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා. අපි හිතනවා මෙතෙන්දි අපිට ශ්‍රී ලංකා ආණ්ඩුවත් එක්ක මීටත් වඩා සමීපව කටයුතු කරන්න පුළුවන් කියලා. මේ අය රටට ඇතුළු වීමට පෙරම ආපසු ශ්‍රී ලංකාවට පිටත් කරන අලුත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඇත්ත වශයෙන්ම ලංකාවේ යුද ගැටුම දැන් අවසන්," බව ද සඳහන් කළාය.
'අමානුෂික යෝජනාවක්'
පිළිකුල් සහගත ප්‍රකාශයක්
"අපි අනාථයන් පිලිබඳ ප්‍රඥප්තියට අත්සන් තියල තියෙනවා. අනාතයෝ කියන්නේ නීති විරෝධී පිරිසක් නෙවෙයි. ඔවුන් කිසිම වරදක් කරලා නෑ. තමන්ගේ ජීවිතවලට තර්ජන එල්ල වෙලා තියෙන රටවලින් පලා යන එකයි ඔවුන් කරන්නේ. අපිට පුළුවන් තරම් අනාථයන් පිරිසකට රැකවරණ දෙන්න අපි බැඳිලා ඉන්නවා"
හරිත පක්ෂයේ නායිකා ක්‍රිස්ටීන් මිල්න්
එහෙත් එයට විරෝධය පළ කරන සංක්‍රමණික කටයුතු භාර අමාත්‍ය ක්‍රිස් බොවන් පවසන්නේ අනාථයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ අනාථයන් රැක බලා ගැනීමට තම රට බැඳී සිටින බවයි.
විරුද්ධ පක්ෂයේ යෝජනාව අසාමාන්‍ය එකක් ලෙසින් විග්‍රහ කරන අමාත්‍යවරයා, අනාථයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් ඉවත්වන මෙන් විපක්ෂය යෝජනා කරන්නේදැයි ප්‍රශ්න කරයි.
අනාථයන් පිලිබඳ ක්‍රියාධරයෝ මෙන්ම හරිත පක්ෂයද ආණ්ඩුවේ මතයට සහාය පළ කරති. ඒබීසී රුපවාහිනියට අදහස් දැක්වූ හරිත පක්ෂයේ නායිකා ක්‍රිස්ටීන් මිල්න් විපක්ෂයේ යෝජනාව විග්‍රහ කළේ අමානුෂික එකක් ලෙසින්.
"මම හිතන්නේ ඒක ඉතා පිළිකුල් සහගත ප්‍රකාශයක්. අපි අනාථයන් පිලිබඳ ප්‍රඥප්තියට අත්සන් තියල තියෙනවා. අනාතයෝ කියන්නේ නීති විරෝධී පිරිසක් නෙවෙයි. ඔවුන් කිසිම වරදක් කරලා නෑ. තමන්ගේ ජීවිතවලට තර්ජන එල්ල වෙලා තියෙන රටවලින් පලා යන එකයි ඔවුන් කරන්නේ. අපිට පුළුවන් තරම් අනාථයන් පිරිසකට රැකවරණ දෙන්න අපි බැඳිලා ඉන්නවා," ඇය පවසන්නීය.
ශ්‍රී ලාංකික අනාථයන් පිළිබඳව යලිත් වරක් මේ විවාදය හටගෙන තිබෙන්නේ ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් තිබුණු බෝට්ටුවක් මුහුද මැද දී අනතුරට ලක්වීමෙන් අනතුරුව එහි සිටි ශ්‍රී ලාංකික අනාථයන් පිරිස ඉන්දුනීසියානු පොලිස් අත් අඩංගුවේ පසුවන බව අනාවරණය වීමෙන් අනතුරුවයි.












