
තුවාල ලැබූ පුද්ගලයාගේ හෝ සැකකරුගේ අනන්‍යතාවය හෙළි කිරීමට තමන්ට හැකියාවක් නැති බවයි පොලීසිය පවසන්නේ
බටහිර ලන්ඩනයේ ඊලින් ප්‍රදේශයේදී තිස් හැවිරිදි පුද්ගලයකුට පහරදීම සම්බන්ධයෙන් පුරුෂයන් එකොලොස් දෙනකු අත් අඩංගුවට ගෙන ඇතැයි ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලීසිය පවසයි.
පහර කෑමට ලක්වූ පුද්ගලයා උන්හිටි තැන් අහිමි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයකු ලෙස විශ්වාස කෙරෙන බවයි, දෙමළ ප්‍රජා සංවිධාන පවසන්නේ.
සිකුරාදා සවස් යාමයේ චැපල් වීදියේ දී පහරකෑමට ලක් වී අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ පුද්ගලයකු හෙලිකොප්ටරයක් යොදාගෙන රෝහලට ඇතුලත් කළ බවයි, ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිස් ප්‍රකාශකයෙක් බීබීසී සංදේශයට කියා සිටියේ. පහරකෑමට ලක්වූ තැනැත්තාගේ තත්ත්වය දැන් යහපත් අතට හැරී ඇති බවයි, පොලිස් ප්‍රකාශකයා පවසන්නේ.
'දේවස්ථානය තුල දී පහර දුන්නා'
පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනුන සැකකරුවන් පිරිස පොලිස් ඇප මත මුදාහරින ලද බවත්, වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ඔවුන් සැප්තැම්බර් මාසයේ දිනෙක යලි පොලීසියට කැඳවීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.
"මට දැනුම් දීපු විදියට එයා කෑම ටිකක් ඉල්ලගෙන එදා කෝවිලට ගිහිල්ල තියෙනවා. ඊට පස්සේ කෝවිලේදී රණ්ඩුවක් ඇතිවෙලා තියෙනවා. ඒ වෙලාවේ තමයි කෝවිලේ හිටපු අය එයාට හොඳටම ගහල පාරට දාල තියෙන්නේ"
දෙමළ ප්‍රජා මධ්‍යස්ථානයේ තවරානි නගුලේන්ද්‍රන්
පහරදීම සිදුවී තිබෙන්නේ මහාමාර්ගයේදී බව පොලීසිය පවසන නමුත්, ඊලින් හින්දු දේවස්ථානය තුල දී ඔහු පහරකෑමට ලක් වූ බව සිද්ධිය ඇසින් දුටුවෙකු ඊට පසුදින තමන්ට දුරකථනයෙන් දැනුම් දුන් බවයි, හවුන්ස්ලෝ ප්‍රදේශයේ පිහිටි දෙමළ ප්‍රජා මධ්‍යස්ථානයේ තවරානි නගුලේන්ද්‍රන් බීබීසී සංදේශයට කියා සිටියේ.
මෙසේ පහර කෑමට ලක් වූ තැනැත්තා තම මධ්‍යස්ථානයට නිරන්තරයෙන් පැමිණෙමින් සිටි ගුනම් ගුනසීලන් හෝ මුර්කන්දු සිවසීලන් විය හැකි බවයි ඇය සඳහන් කරන්නේ. සිකුරාදා සවස් යාමයේ සිට ගුනම් ගුනසීලන් දුටු කිසිවෙකු පිළිබඳව තොරතුරක් නැති බවද ඇය සඳහන් කරන්නීය.
"මට දැනුම් දීපු විදියට එයා කෑම ටිකක් ඉල්ලගෙන එදා කෝවිලට ගිහිල්ල තියෙනවා. ඊට පස්සේ කෝවිලේදී රණ්ඩුවක් ඇතිවෙලා තියෙනවා. ඒ වෙලාවේ තමයි කෝවිලේ හිටපු අය එයාට හොඳටම ගහල පාරට දාල තියෙන්නේ," තවරානි නගුලේන්ද්‍රන් පවසන්නීය.
නමුත් ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලීසිය පවසන්නේ තුවාල ලැබූ පුද්ගලයාගේ හෝ සැකකරුවන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට තමන්ට හැකියාවක් නැති බවයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් විමසීම සඳහා ඊලින් කෝවිලේ භාරකරුවන් ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.












