ඕස්ට්‍රේලියාවට යවන තුරු උපවාස කරනවා - ශ්‍රී ලාංකික අනාථයෝ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 7 සිකුරාදා - 12:31 GMT
Sri Lankan asylum seekers in Indonesia

කණ්ඩායමේ සාමාජිකයකුටම අයත් ධීවර බෝට්ටුවකින් පසුගිය අගෝස්තු 09 වැනි දා සිය චාරිකාව ආරම්භ කළ බවයි ප්‍රකාශකයා පවසන්නේ

ඉන්දුනීසියාවේ අත් අඩංගුවෙන් නිදහස් කොට ඕස්ට්‍රේලියාවට පිටත් කරන තුරු සිය උපවාසය අත් නොහරින බව බටහිර සුමාත්‍රාවේ සිකකප් දූපතේ රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෝ පවසති.

තමිල්නාඩුවේ මගාවෙලිපුරම් සිට ක්‍රිස්මස් දූපත බලා ධීවර බෝට්ටුවකින් යාත්‍රා කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනා පසුගිය සැප්තැම්බර් 04 වැනිදා ඉන්දුනීසියානු බලධාරීන්ගේ අත් අඩංගුවට පත් වූයේ ඔවුන්ගේ යාත්‍රාවේ ඉන්ධන අවසන් වී දින දහයක් මහ මුහුද මැද කොටු වී සිටීමෙන් අනතුරුවයි.

"අපි මුහුද මැද කොටුවෙලා ඉන්න කොට අගෝස්තු 28 වැනිදා උදේ පාන්දර අපිට ධීවර බෝට්ටු වගයක් මුණගැහුන. ඒ ගොල්ල අපිට ඩීසල් ලීටර් 100 ක් දුන්න. ඊට පස්සේ තමයි, අපි ආයෙත් යාත්‍රා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ සැප්තැම්බර් පළවෙනිදා ඉන්දුනීසියාවේ නාවික හමුදාව අපිව අත් අඩංගුවට ගත්තා" බව කණ්ඩායමේ සාමාජිකයෙකු වන අමල් රාජ් බීබීසී සංදේශයට පැවසීය.

කාන්තාවන් සිවු දෙනකු, දරුවන් තිදෙනකු සහ ආබාධිතයන් දෙදෙනකු ඇතුලත් කණ්ඩායම, කණ්ඩායමේ සාමාජිකයකුටම අයත් ධීවර බෝට්ටුවකින් පසුගිය අගෝස්තු 09 වැනි දා සිය චාරිකාව ආරම්භ කළ බවයි, අමල් රාජ් ප්‍රකාශ කළේ.

තවත් බෝට්ටුවක්

නිල නොවන සන්නද්ධ කණ්ඩායම්වල තර්ජන

"එක්කෝ ක්‍රිස්මස් දූපතට යාවි නැත්නම් මැරෙන්න වේවි කියන නොදැන නෙවෙයි, අපි මේ චාරිකාව පටන් ගත්තේ. නමුත් අපි ලංකාවේ හිටිය නම් කවුරු හරි නන්නාඳුනන කෙනෙක් ඇවිල්ල අපිව මරා දාවි. එහෙම නැත්නම් කවුරු හරි අපිව පැහැර ගනීවි. ඒ නිසයි අපි ලංකාව දාල ආවේ"

අනාථයන් කණ්ඩායමේ ප්‍රකාශක අමල් රාජ්

"අපිට ඒජන්ත කෙනෙක් නෑ. මෙතන ඉන්න වැඩි පිරිසක් ධීවරයෝ. අපිමයි මේක සංවිධානය කරගත්තේ. මේක 64 දෙනෙකුට යන්න පුළුවන් බෝට්ටුවක්. ඒකෙ අයිතිකාරයත් අපි එක්කම ඉන්නවා," ඔහු පැවසීය.

යුද්ධය සමයේ දැඩි දුක් වේදනාවලට මුහුණ දුන් තමන්ට යුද්ධය හමාරයේත් නිල නොවන සන්නද්ධ කණ්ඩායම් ඇතුළු බොහෝ දෙනාගේ තර්ජනවලට මුහුණ දීමට සිදු වී ඇති හෙයින් දිවි පරදුවට තබා මේ ගමන ඒමට තීන්දු කළ බවයි, අනාථයන් පිරිස වෙනුවන් සංදේශය සමඟ අදහස් දැක්වූ කණ්ඩායමේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.

"එක්කෝ ක්‍රිස්මස් දූපතට යාවි නැත්නම් මැරෙන්න වේවි කියන නොදැන නෙවෙයි, අපි මේ චාරිකාව පටන් ගත්තේ. නමුත් අපි ලංකාවේ හිටිය නම් කවුරු හරි නන්නාඳුනන කෙනෙක් ඇවිල්ල අපිව මරා දාවි. එහෙම නැත්නම් කවුරු හරි අපිව පැහැර ගනීවි. ඒ නිසයි අපි ලංකාව දාල ආවේ."

මේ අනාථයන් පිරිස පිළිබඳව බීබීසී ඉන්දුනීසියානු භාෂා අංශයට අදහස් දැක්වූ මෙන්තාවි දූපතේ පළාත් පාලන ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානී යුදාස් සබ්බගලෙත් කියා සිටියේ, මෙම බෝට්ටුවට ප්‍රථම ශ්‍රී ලාංකිකයන් 43 දෙනකු රැගත් තවත් බෝට්ටුවක්ද තම දූපතට ලඟා වූ බවයි.

දෙවැනි බෝට්ටුවෙන් ලඟා වූ අනාථයන් පිරිස දැන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව පැවසූ ඔහු, කෙසේ වුවද ඔවුන් සම්බන්ධ ප්‍රශ්නය විසඳීම ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් කාර්යයයක් බවද පැවසීය.

මේ අතර නීති විරෝධී ලෙසින් ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගෙන සිටි දෙමළ ජාතිකයන් 63 දෙනකු ඇප මත නිදහස් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

කල්පිටිය මුහුදු තීරයේදී ධීවර යාත්‍රාවකින් ගමන් කරමින් සිටි පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගැනුනේ මීට සති දෙකකට ඉහතදී.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.

]]>