ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක්
පාර්ලිමේන්තු නීති කඩ කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු වන ඉයන් පෙයිස්ලිට ( Ian Paisley) සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට බල කිරීමට ඉඩ ඇති අතර අතුරු මැතිවරණයකට මුහුණ දීමට සිදු වනු ඇත.
2013 වසරේදී දෙවරක් සිය පවුලත් සමග ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමින් සිදු කළ සංචාර පිළිබඳ හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට දින 30 ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කර තිබේ.
'ද ඩේලි ටෙලිග්‍රාෆ් (the Daily Telegraph) පුවත්පත මේ පිළිබඳ 2017 වසරේ සැප්තැම්බර් මස මුලින්ම වාර්තා කර තිබුණි.
පාර්ලිමේන්තු තහනම පිළිබඳ තීරණය තමන් පිළිගන්නා නමුත් ද ඩේලි ටෙලිග්‍රාෆ්හි පළවූ වාර්තාව පිළිබඳ තමන්ට ගැටලු ඇති බව ඉයන් පෙයිස්ලි පැවසීය.
ඉයන් පෙයිස්ලිගේ නීතීඥවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ ඔහුගේ සේවාදායකයා "තමන්ට ශ්‍රී ලංකාවෙන් ලැබුණ සත්කාර පිළිබඳ හෙළි කිරීමට බැරි වීම ගැන සමාව ඉල්ලා සිටිනවා" යනුවෙනි.
ඔහු උතුරු අයර්ලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂයේ (DUP) සාමාජිකයෙකි.
අදාළ මන්ත්‍රීවරයාගේ ක්‍රියාව පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නිකුත් කළ වාර්තාව තමන් නිරීක්ෂණය කළ බව දැන්වූ DUP පක්ෂය "මේ ගැන පක්ෂයේ බලධාරීන් අවදානය යොමු කර සිටින බව පැවසීය.
ඉයන් පෙයිස්ලි සිය තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බව ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් ඇතුළු බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් බොහෝ දෙනෙකුගේ මතයයි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විශේෂ කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව ඉයන් පෙයිස්ලි පහත සඳහන් නීති කඩ කර තිබේ:
•2014 මාර්තු මස 19 වන දින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවකට සහයෝගය පළ නොකරන ලෙස ඉල්ලා ඇත. මෙම ඉල්ලීම ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන විශාල උපකාරයක් ලෙස දක්වා තිබුණි. නමුත් ඉන් පෙර මාස දොළහ තුළ ශ්‍රී ලංකා රජයෙන් ඔහුට පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාරය ලැබී තිබිණි.
•අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ ලිපියේ ශ්‍රී ලංකා රජයෙන් තමන්ට ලැබුණ පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාර පිළිබඳ සඳහන් කිරීමට අපොහොසත් වීමෙන් පාර්ලිමේන්තුවේ නීති රීති කඩ කර ඇත.
•2013 මාර්තු සහ අප්‍රේල් මාසවලදී පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රී ලංකාවේ කළ සංචාරයන් දෙක ගැන පාර්ලිමේන්තුව විසින් එකඟ වූ දින 28 ඇතුළත ලියාපදිංචි කිරීමට අසමත්වීම.
මෙම වාර්තාව සඳහන් "කාරණයේ බරපතළකම" සලකා බැලීමෙන් පසු කමිටුව තීරණය කරන ලද්දේ 2018 සැප්තැම්බර් 4 සිට දින 30 ක කාලයක් ඉයන් පෙයිස්ලි සේවයෙන් ඉවත් විය යුතු බවය.
මේ තොරතුරුද දැනගන්න: