කාන්තා මත්පැන් තහනමට එරෙහි පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

Women alchohol ban in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කාන්තා මත්පැන් තහනමට එරෙහිව ක්‍රියාකාරිනියන් කිහිප දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.

කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට සහ මත්පැන් අලෙවි කරනු ලබන ස්ථානවල සේවය කිරීමට අවකාශ සලසා දෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය කටයුතු කළහ.

නමුත් මෙම තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා කාන්තාවන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම පිළිබඳ පැවති දීර්ඝ වාද විවාද වලින් පසුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අවසර දුන්හ.

Women alchohol ban in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් 2019 පෙබරවාරි මස 06 වෙනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ මුදල් අමාත්‍ය මංගල සමරවීර, එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් වෙත නොතීසි නිකුත් කිරීමට ද අධිකරණය නියෝග කළේය.

මේ තොරතුරුද දැනගන්න:

මෙහිදී පෙත්සම්කාරියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන සඳහන් කර සිටියේ කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට සහ විකුණනු ලබන ස්ථානවල සේවය කිරීමට අවස්ථාව සලසා දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැණි බවය.

"මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීම තුළින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වීමක් සිදු වෙනවා. මත්පැන් නිෂ්පාදන කටයුතුවල නිරත සමාගම් තුළ කාන්තාවන් විශාල පිරිසක් රැකියාවල නිරත වී සිටිනවා. රජයේ මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් කාන්තාවන් විශාල පිරිසකට රැකියා අහිමි වෙනවා," යැයි ජනාධිපති නීතිඥ ජයවර්ධන පෙත්සම්කාරියන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේය.

Women alchohol ban in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock

පෙත්සමට එරෙහිව කරුණු දැක්වූ රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ මෙම ගැසට් නිවේදනය අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කර ඇති හෙයින් එය අධිකරණය හමුවේ ප්‍රශ්න කළ නොහැකි බවය.

කෙසේවෙතත්, දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව පෙත්සම විභාග කිරීම සඳහා අනුමැතිය ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළ විරෝධතා තිබේනම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකාර මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු පාර්ශවයන්ට නියම කරන ලදි.

'කාන්තා මත්පැන් තහනම'

මත්පැන් මිල දී ගැනීම සහ මත්පැන් වෙළෙඳසැල්හි රැකියා කිරීම සම්බන්ධයෙන් වසර හැටක පමණ කාලයක් කාන්තාවන්ට බල පැවැත්වුන තහංචි ඉවත් කරන බව මුදල් ඇමති මංගල සමරවීර පසුගියදා නිවේදනය කළේය.

කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් සිදුවන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර 1955 වසරේ ක්‍රියාත්මක අදාළ නීතිය සංශෝධනය කිරීමට තීන්දු කළ බව ඒ අවස්ථාවේ රජය පැවසීය.

තවත් තොරතුරු:

නමුත් අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය පසුව පියවර ගත්තේය.

ඉන් අනතුරුව නිශාන්ති බණ්ඩාරනායක, එම්ඩීජේබී ප්‍රනාන්දු, සමන්මලී ෆොන්සේකා, චන්දිමා රවිනි ජිනදාස, දීපාංජලී අබේවර්ධන, සබ්රිනා එසුෆාලි, ෂාරන්‍යා සේකරම්, රන්දුලා ද සිල්වා, මේනකා ගල්ගමුව, සුජාතා ගමගේ සහ විශාඛා පෙරේරා තිලකරත්න යන කොළඹ නගරයේ පදිංචි කාන්තාවන් එකොළොස් දෙනෙක් ඉහත කී ගැසට් නිවේදනය අවලංගු කිරීමට එරෙහිව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළහ.

කැබිනට් මණ්ඩලයේ එම තීරණය මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර කාන්තාවන්ට සමාජය තුළ සමාන ආකාරයෙන් කටයුතු කිරීමට තිබෙන අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සම්කාරියන්ගේ ප්‍රධාන තර්කය වී තිබේ.