සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි වරදකරු වෙයි

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමි වරදකරු බව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය තීන්දු කළේය.

2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කළ බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට චෝදනා එල්ල වී තිබිණි.

ඒ අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ එහිමියන්ට එරෙහිව හෝමාගම පොලිසිය මගින් නඩු පවරනු ලැබ තිබිණි.

එකී චෝදනා සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමි වරදකරු බව තීන්දු කළ අධිකරණය ජුනි 14 වෙනිදා එහිමියන්ට දඬුවම් නියම කරන බව ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටියේ, "මේක හිංසාවට ලක් වූ සමස්ත ජනතාව ලැබූ ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. ඒ හිමියන්ට දඬුවම් ලබා දීමේ කාර්ය පවතින්නේ මහේස්ත්‍රාත්වරයා අතේ," යනුවෙනි.

අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට තර්ජනය කළ බවට එල්ල වූ චෝදනා මත 2016 වසරේදී රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුව ඇප මත නිදහස් කෙරිණ.