ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඥානසාර හිමියන්ට රටෙන් පිටවීම තහනම්
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, ජාතීන් අතර අසමඟිය ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම ඇතුළු චෝදනා මුල් කර ගනිමින් එහිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අලුත් කඩේ අංක 4 දරණ මහේස්ත්‍රාත්වරයා විසින් ඥානසාර හිමියන්ට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
ඥානසාර හිමියන්ට විරුද්ධව ලැබී ඇති පැමිණිලි සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද උන්වහන්සේ එම දැනුම් දීම පැහැර හැර ඇති බවත් පොලිසිය පවසයි.
මේ අතර අද (මැයි 25) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් බොදු බල සේනා සංවිධානය කියා සිටියේ ඥානසාර හිමියන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බවය.
පොලිසිය හෝ වෙනත් කණ්ඩායමක් මගින් ඥානසාර හාමුදුරුවන්ට අනතුරක් වෙයි කියන සැකය අපිට දැඩි ලෙස තිබෙනවා" යනුවෙන් එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ සඳහන් කළේය.