අලුත් අවුරුද්දට පෙර අලුත් කැබිනට් මණ්ඩලයක් ?

ආණ්ඩුවේ නව කැබිනට් සංශෝධනය අප්‍රියෙල් දාහතර (14) වෙනිදාට පෙර සිදු කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
ඇමතිවරයා එම ප්‍රකාශය කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
විද්‍යාත්මක ලෙස විෂයයන් වෙන් කරන ලද අමාත්‍ය මණ්ඩලයක් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර දිවුරුම් දීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ආණ්ඩුවේ රැඳී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් සම්බන්ධයෙන් එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබන තීරණය අද (අප්‍රියෙල් 11) දැනුම්දීමට නියමිත බව කියා සිටි අමාත්‍යවරයා ඉදිරි කටයුතු ඒ අනුව සිදුවනු ඇතැයි ද සඳහන් කළේය.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මතය බව කියා සිටි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න එය එසේ සිදු වනු ඇති බවට ඉඟි පළ කළේය.
අමාත්‍යවරුන් පිරිසක් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසූ බව අනාවරණය කළ සෞඛ්‍ය ඇමතිවරයා ඉන් අනතුරුව නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් හය දෙනෙක් අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන් අතර ඔවුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වුනොත් එම අමාත්‍ය පදවි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු අමාත්‍යවරුන් අතර බෙදී යන බවත් සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමතිවරයා පවසයි.
සම්පූර්ණ අලුත් ඇමති මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව ප්‍රකාශ කළ ඇමතිවරයා, කෙසේ වෙතත් බොහෝ අමාත්‍යාංශ වෙනස් නොවීමට ඉඩ ඇති බවද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් පමණක් ආණ්ඩුවෙන් ඉවත්ව යන අතර තවත් කොටසක් රැඳී සිටින හෙයින් ජාතික ආණ්ඩුව දිගටම පවතින බව පැවසූ ඇමතිවරයා, එම පසුබිම යටතේ අමාත්‍ය තනතුරු ප්‍රමාණය ද දැන් තිබෙන මට්ටමින්ම පවතිනු ඇතැයි කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ආණ්ඩුවෙන් ඉවත්වුනොත් දැනට ඇති අමාත්‍ය පදවි සංඛ්‍යාවේ වෙනසක් සිදුවිය යුතු අතර එවිට කැබිනට් ඇමති පදවි ගණන තිහකට සහ නියෝජ්‍ය ඇමති පදවි ගණන හතළිහකට සීමා වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජාතික ආණ්ඩුවකදී පමණක් කැබිනට් ඇමති පදවි හතළිස් අටක් සහ නියෝජ්‍ය ඇමති පදවි හතළිස් පහක් පවත්වා ගත හැකි වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ආණ්ඩුවේ රැඳී සිටින තෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක පදවිය දෙමළ ජාතික සන්ධානයට පැවරෙන බවත් සෞඛ්‍ය ඇමතිවරයා මාධ්‍යවේදියකු විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
සබැඳි පුවත්;










