සිරියාවේ හමුදා කඳවුරකට 'ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්'

A Russian Pantsir-S1 anti-aircraft defence system at the Russian Hmeimim military base in Latakia province, in the northwest of Syria, on December 16, 2015.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සංරක්ෂිත ඡායාරූපයක්: සිරියාවට අයත් රුසියාවේ නිෂ්පාදිත Pantsir-S1 වර්ගයේ ගුවන් නාශක මිසයිල පද්ධතියක්

සිරියාවේ දමස්කස් අගනුවරට පිටතින් පිහිටි හමුදා කඳවුරක් වෙත ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව සිරියානු රජයේ රූපවාහිනිය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් හානි සිදු වී ඇතත් මිසයිල ප්‍රහාර දෙක මැඩපැවැත්වීමට හැකි වූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් විය.

තමන් විසින් ප්‍රහාරය එල්ල කරන ලද බව ඊශ්‍රායල හමුදාව මෙතෙක් තහවුරු කර නොමැත.

එකසත් රාජධානිය මූලස්ථානය කරගත් සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය මීට ඉහතදී කියා සිටියේ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බවට සැක කෙරෙන මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් දමස්කස් අගනුවර ආසන්නයේ පිපිරීමක් වාර්තාවූ බවය.

ප්‍රහාරයෙන් කෙතරම් හානියක් සිදුව ඇත්දැයි යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.

සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ ආයතනයේ ප්‍රධානී රමී අබ්දෙල් රහ්මාන් ඒඑෆ්පී පුවත් සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රහාරයෙන් අවි ගබඩාව විනාශ වී ඇතත් එය කුමන පාර්ශවයකට අයත් කඳවුරක් දැයි යන්න සිය ආයතනය නොදන්නා බවය.

ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

සිරියාවට සහාය දක්වන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය වෙත අවිආයුධ ගෙනයාම වැළක්වීමේ අරමුණින් ඊශ්‍රායලය මීට ඉහතදී ද ආයුධ ගබඩා වෙත ප්‍රහාර එල්ල කර ඇත.

සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය පවසන පරිදි දමස්කස් අගනුවරට සැතපුම් කිහිපයක් දකුණු දෙසින් පිහිටි එල්-කිස්වාහ් නගරය තුළට ප්‍රහාරය එල්ල වී තිබේ.

ඉරානය විසින් නගරය ආසන්නයේ ස්ථීර හමුදා කඳවුරක් ඉදි කිරීමට යන බව පසුගිය මාසයේ දී වාර්තා විය.

සිරියාව තුළ කුමන හෝ ආකාරයකින් ඉරාන හමුදා යෙදවීමට ඉඩ නොදෙන බවට ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නේතන්යාහු විසින් මීට ඉහත අනතුරු ඇඟවීය.

සමාන පුවත්: