මන්ත්‍රීවරුන්ගේ දුරකථන 'ටැප් කිරීම' ගැන බැඳුම්කර කොමිසම

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ විමර්ශනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හෝ වෙනත් පුද්ගලයන්ගේ දුරකථනවලට රහසින් සවන් දුන් බවට හෝ එම සංවාද පටිගත කරන ලද බවට පළ වන සියලු වාර්තා "සම්පූර්ණයෙන්ම අසත්‍ය" බව බැඳුම්කර නිකුතුව පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසම පවසයි.
එබැවින් අර්ජුන ඇලෝෂියස් සහ අර්ජුන මහේන්ද්‍රන් සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ පළවෙමින් පවතින බොහෝ අදහස් නිවැරදි නොවන බව ද කොමිසම අවධාරණය කරයි.
ජනාධිපති කොමිසම ඒ බව සඳහන් කරන්නේ සිය විමර්ශනයේ සාක්ෂි විභාගය අවසානයේ නිවේදනයක් නිකුත් කරමිනි.
කොමිසමේ නියෝගය පරිදි අර්ජුන ඇලෝසියස් සහ අර්ජුන මහේන්ද්‍රන්ගේ ජංගම දුරකථන සහ අනෙක් ඉලෙක්ට්‍රෝනික උපකරණ පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් පරීක්ෂා කරන ලද බව සඳහන් කරන එම නිවේදනය වැඩිදුරටත් පවසන්නේ, එහිදී ඔවුන් දෙදෙනා සම්බන්ධතා පැවැත්වූ විශාල පිරිසක් පිළිබඳව දත්ත හෙළි වූ බවය.
කොමිසමේ විමර්ශනයට අදාළ යයි එයට සහාය දෙන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නිගමනය වූ බැවින් ඔවුන් දෙදෙනා සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරගනු ලැබූ බව පවසන කොමිසම, අවධාරණය කරන්නේ එම සම්පූර්ණ ක්‍රියාදාමයම ඔවුන් දෙදෙනා භාවිතා කළ දුරකථන සහ ඉලෙක්ට්‍රෝනික උපකරණවලට පමණක් අදාළ වූ බවය.
එමෙන්ම එම සංවාදවල අන්තර්ගතය පිළිබඳව කිසිදු කරුණක් කොමිසම හමුවට ඉදිරිපත් නොකෙරුණු බව ද ජනාධිපති කොමිසම අවධාරණය කරයි.
"කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ දුරකථන සංවාද පිළිබඳ වාර්තා ලබා ගත්තේ හෝ විමර්ශනයට ලක් කළේ නැත," යනුවෙන් ද බැඳුම්කර නිකුතුව පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර කොමිසමේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරන විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී මංජුල බාලසූරිය, බැඳුම්කර නිකුතුව පිළිබඳව අර්ජුන ඇලෝසියස් සමග කිසිදු සංවාදයක නිරත නොවූ බවට සිය සේවාදායකයා අවධාරණය කරන බව සඳහන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Ajith P Perera
එමෙන්ම අර්ජුන ඇලෝසියස් කිසි දිනෙක හමු වී නොමැති අතර ඔහු සමග කිසිදු හැඳුනුම්කමක් ද නැතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අවධාරණය කරන බව ද නීතිවේදී මංජුල බාලසූරිය යොමු කළ ලිපියේ සඳහන් වේ.
අර්ජුන ඇලෝසියස් ගේ දුරකථන සම්බන්ධතා පිළිබඳ කොමිසම හමුවේ ඉදිරිපත් කෙරුණ කරුණු ජනමාධ්‍ය මගින් සහ අන්තර්ජාලය ඔස්සේ විකෘති කොට වාර්තා කොට නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කීර්ති නාමයට හානි කොට ඇති බැවින් ඒ පිළිබඳව කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා දෙන මෙන් ද නීතිවේදියා කොමිසමෙන් ඉල්ලීමක් කරයි.
සබැඳි යොමු:
වත්මන් ආණ්ඩුව බලයට පත් වී මුල් මාස කිහිපය ඇතුළත සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීම පිණිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පසුගිය ජනවාරි මාසයේ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කරන ලදි.
කොමිසමේ විනිසුරුවරුන්ගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් එහි නිල කාලය තුන්වරක් දීර්ඝ කොට තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ, කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම අමාත්‍යවරුන්, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, අර්ජුන ඇලෝසියස්, අර්ජුන මහේන්ද්‍රන් සහ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුලු විශාල පිරිසක් ගතව ගිය මාස කිහිපය තුළ කොමිසම හමුවේ සාක්ෂි දුන්හ.
කොමිසමේ සාක්ෂි විභාගය අවසාන අතර මින් අනතුරුව සිය වාර්තාව සකස් කිරීම සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කරන බව කොමිසම පවසයි.
සිය විමර්ශනයේ අවසන් වාර්තාව දෙසැම්බර් 08 වෙනි දිනට පෙර ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කරන බව අගමැතිවරයාගේ සාක්ෂි විභාගය අවසානයේ විනිසුරුවරු ප්‍රකාශ කළහ.









