බැඳුම්කරය: දුරකථන සංවාද “පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න”

Sri Lanka Central Bank

මතභේදයට තුඩු දී ඇති මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින අර්ජුන් ඇලෝසියස් සහ කෝප් කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනෙකු අතර සිදු වූ බව පැවසෙන දුරකථන සංවාදවල හඬ පට හැන්සාඩ් ගතකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

සිකුරාදා (නොවැ 17) පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ "ඕවා වාක්‍යත් එක්ක මොනවද කතා කළේ කියලා දින වකවානුත් එක්ක සියලු හඬ පට ලිඛිතව හැන්සාඩ් එකක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි" යනුවෙනි.

පර්පෙචුවෙල්' සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් වසර 2015-17 අතර කාලය තුළ දුරකථනයෙන් කතා කරන ලද සහ දුරකතනයෙන් ඔහුට කතා කළ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයන් කීපදෙනකුගේ නම් බැඳුම්කර කොමිසම ඉදිරියේ බ්‍රහස්පතින්දා කියැවුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ උප පොලිස් පරීක්ෂක යසංක ජයසිංහ විසින් එම කරුණු අනාවරණය කරන ලද්දේ බැඳුම්කර වංචා විභාග කරන ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමිනි.

වීඩියෝ ශීර්ෂ වැකිය, බැඳුම්කරය: දුරකථන සංවාද “පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න”

කොමිසම ඉදිරියේ ප්‍රකාශ වූ පරිදි හිටපු මුදල් ඇමති රවි කරුණානායක, ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර, රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ,බලශක්ති සහ පුනර්ජනනීය නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා සහ හෙක්ටර් අප්පුහාමි ඇතුළු දේශපාලකයන් කිහිපදෙනකු සමඟ අර්ජුන් ඇලෝසියස් දුරකථන සම්බන්ධතා පවත්වා ඇත.

අර්ජුන් ඇලෝසියස් විසින් අදාළ දේශපාලනඥයන්ගේ දුරකථනවලට කතා කළ අවස්ථාවන්ට අමතරව එම දේශපාලකයන් විසින් අර්ජුන් ඇලෝසියස්ට කතා කළ අවස්ථාවන්ද උප පොලිස් පරීක්ෂක යසංක ජයසිංහගේ සාක්ෂිය මගින් සංඛ්‍යා ලේඛන සහිතව කොමිසම ඉදිරියේ කියැවුණි.

ඒ අනුව ඇලෝසියස් සහ රවි කරුණානායක මන්ත්‍රීවරයා අතර හුවමාරු වී ඇති දුරකථන ඇමතුම් සංඛ්‍යාව 387 කි.

බැඳුම්කර
ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හා කෝප් කමිටුවේ සාමාජිකයින් අතර දුරකතන සංවාද පැවති බව කියැවේ.

අර්ජුන් ඇලෝසියස් සහ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ අතර වාර 60 ට වැඩි ප්‍රමාණයක කෙරුණු දුරකථන ඇමතුම් සම්බධයෙන් එහිදී කියවිණි

මේ අතර පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ තමන් සහ අර්ජුන් ඇලෝසියස් අතර සිදුවූ දුරකථන සංවාද වල හඬපට ප්‍රසිද්ධ කරන ලෙසය.

තමන් කෝප් කමිටුවට අදාළ කරුණු කිසිවක් කිසිඳු ව්‍යාපාරිකයෙකු සමග පවසා නොමැති බව එම කමිටුවේ සාමාජිකයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේය.

මේ අතර නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා තමා අර්ජුන් ඇලෝසියස් සමග කිසිදු සබඳතාවක් පවත්වා නොමැති බව කියා සිටියි.

"අර්ජුන ඇලෝසියස් මා කිසිසේත්ම නොහදුනන තැනත්තෙකි. කිසිදිනෙක හමු වී නැත. කතා කර නැත" පවසමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා සිය ෆේස්බුක් අඩවියේ සටහනක් තබා ඇත.

සබැඳි පුවත්;