හම්බන්තොට: ආණ්ඩුව දැන් උඩු ගුවනත් විකුණනවා - මහින්ද

හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාරය වෙත පැමිණෙමින්

පසුගිය ඔක්තෝබර් 06 වෙනි දින අධිකරණ නියෝග නොතකා හම්බන්තොට දී විරෝධතාවක නිරතවීමේ චෝදනාව මත නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් තංගල්ල නගරයේ නිහඬ උද්ඝෝෂණයක නිරතව සිටියහ.

අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරන මෙන් සහ ජාතික සම්පත් විකිණීම නතර කරන ලෙස කළු පටි හිසේ සහ මුඛයේ බැඳගත් විරෝධතාකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

විරෝධතාව අතරවාරයේ මාධ්‍ය වෙත අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, ආණ්ඩුවට එරෙහි වෙන සියලු දෙනා සිරගත කරමින් "කාලකන්නි සතුටක් ලබන" බවට ආණ්ඩුවට චෝදනා කළේය.

තංගල්ලේ උද්ඝෝෂණය

"මේ රටම හොරා කාපු ආණ්ඩුවක් තමයි මේ තියෙන්නේ. මේ ආණ්ඩුවේ ඇමැතිවරුත් දූෂිතයි. මේ ආණ්ඩුව තමන් කරන කටයුතුවලට විරුද්ධව වැඩ කරන ජනතාව හිරේට දාල කාලකන්නි සතුටක් ලබනවා," ඔහු පැවසීය.

මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමේ ප්‍රයත්නයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කළ කැඳවීමක් අනුව හම්බන්තොට පොලිසියට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස සදුඳා (ඔක්තෝබර් 16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඩීවී චානක සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරල සහ මේජර් අජිත් ප්‍රසන්න යන පළාත් සභා මන්ත්‍රීවරුන් ද එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු කණ්ඩායමට ඇතුලත්වේ.

නීති විරෝධී ජනරාශිය, පොදු දේපොළ වලට හානි සිදු කරනු ලැබීම, පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීම, රාජකාරියට බාධා කිරීම සහ අධිකරණ නියෝග කඩ කිරීම ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාය.

තංගල්ලේ උද්ඝෝෂණය

ඉරිදා තංගල්ලේ විරෝධතාව අතරවාරයේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම: "නාමල් රාජපක්ෂ, ඩී චානක ඇතුළු අපේ තරුණයින් සහ අහිංසක අම්මලා 40 දෙනෙක් අද වෙනකොට බන්ධනාගාර ගත කරලා ඉන්නවා. අපි මේ රජයට කියන්න කැමතියි ජනතාව තීන්දුව දීලා ඉවරයි. ඒ නිසා තමයි මැතිවරණයකට යන්න ආණ්ඩුව බය," යනුවෙන් ප්‍රකාශ කළේය.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසගේ හමුවීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරිදා (ඔක්තෝබර් 15) පෙරවරුවේ තංගල්ල බන්ධනාගාරයට පැමිණියේය.

ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ද හිටපු ජනාධිපතිවරයා සමග බන්ධනාගාරයට පැමිණ සිටියේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, හම්බන්තොට උද්ඝෝෂණ: විරෝධතාකරුවන් අත්අඩංගුවට

ඒ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකාවේ සම්පත් විකිණීමට එරෙහි වෙන පුද්ගලයන් සිරගත කරන බවට ආණ්ඩුවට චෝදනා කළේය.

"මේ විකුණන්න හදන්නේ වරාය ගුවන් තොටුපොළ. මේ රටේ මහජනයාට අයිතියක් තියෙනවා මේ වට විරුද්ධව නැගී සිටින්න. ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදීවත් මේවට විරුද්ධව සටන් කළා කියලා අත්අඩංගුවට ගත්තේ නෑ," ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුව "උඩු ගුවනත් විකුණන්නේ නම්" එය රටේ ආරක්ෂාවට තර්ජනයක් බව ද හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.