හම්බන්තොට විරෝධතාව: 28ක් අත්අඩංගුවේ
මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව අද (ඔක්. 06) හම්බන්තොට පැවති උද්ඝෝෂණයේ දී පොලිසිය විසින් 28 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිසිය පවසන්නේ "කලහකාරී ලෙස හැසිරීම" යන චෝදනාව යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බවය.
විරෝධතාව අතරතුර ඇතිවූ උණුසුම් වාතාවරණය හමුවේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද තුවාල ලබා තිබේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ මෙම විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

හම්බන්තොට අධිකරණය කලාපය තුළ මෙම උද්ඝෝෂණය වාරණය කරමින් අධිකරණ නියෝගයක් ද නිකුත්කර තිබිණි.
විරෝධතාකරුවන් අතර හිටපු අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, මහින්ද යාපා අබේවර්ධන, නාමල් රාජපක්ෂ, හිටපු කතානායක චමල් රාජපක්ෂ, අරුන්දික ප්‍රනාන්දු, ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද වූහ.
අද පෙරවරු 10.30ට පමණ හම්බන්තොට නගරයේ වෙරළ උද්‍යානය අබියසින් විරෝධතාව ආරම්භ කළ අතර ඒ සදහා 2000ක පමණ පිරිසක් සහභාගි වී සිටිනු දක්නට ලැබුණි .

පැරණි තංගල්ල පාර හරහා කිලෝමීටර් 03ක් පමණ ගමන්ගත් විරෝධතාකරුවෝ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය අබියසට පැමිණ එහිදී තම විරෝධය පෑහ.
නමුත් ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණු හෙයින් එම කාර්යාලය තුළට කිසිදු විරෝධතාකරුවෙකුට ඇතුළු වීමට ඉඩ නොලැබුණි.
විරෝධතාවට එක්ව සිටි පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ඇතුළු කීපදෙනෙකු හට තම ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් බාරදීමට අවස්ථාව සලසා දෙන ලදී .

අනතුරුව විරෝධතාකරුවන් හම්බන්තොට පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලය අසලදී පොලිසිය යොදා තිබූ බාධක බිඳ දමමින් ඉදිරියට යෑමට සැරසෙද්දී පොලිසිය අධි පීඩන ජල ප්‍රහාර එල්ල කළේය. පසුව විරෝධතාකරුවන් මැඩ පැවැත්වීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කෙරිණි.
මේ වනවිට උද්ඝෝෂකයන් විසුරුවා හැර තිබේ.











