ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විභාගයේ දී වේල් තහනම්;විභාග වංචා වැලැක්වීමේඋත්සාහයක්
විභාග වලදී මුහුණ සහමුළින්ම ආවරණය කෙරෙන වේල් පැළඳීම තහනම් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඇතැම් විභාග අපේක්ෂිකාවන් මුහුණු ආවරණ සහිතව (VEIL ) විභාග වලට පෙනී සිටීමේ දී කුඩා මයික්‍රොෆෝන් සහ විද්‍යුත් උපකරණ වේල් අස්සේ සවිකොට සඟවා තබා ගනිමින් පිළිතුරු ලියා ඇති බවට පැමිණිලි ලැබී තිබුණ බව අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වේලුසාමි රාධක්‍රිෂ්ණන් බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී සඳහන් කළේය.
"අපි මේ තහනම ප්‍රකාශයට පත්කළේ ඇතැම් අපේක්ෂිකාවන් මයික්‍රොෆෝන් සහ විද්‍යුත් උපකරණ ආදිය වේල් අතර සඟවා තබා ගනිමින් විභාග වංචා සිදු කරන බවට තොරතුරු ලැබීම සැලකිල්ලට අරගෙනයි" ඔහු පවසයි.
ඊට අමතරව මුහුණු ආවරණය පාවිච්චි කරමින් සැබෑ අපේක්ෂිකාව නොව වෙනත් තැනැත්තියන් විභාග සඳහා පෙනී සිට ඇති බවත් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වේලුසාමි රාධක්‍රිෂ්ණන් පවසයි.
එම කරුණු සැලකිල්ලට ගනිමින් පනවන ලද තහනම හෙට අගෝස්තු 09 වෙනිදා ආරම්භ වෙන උසස් පෙළ විභාගය සඳහා බල පැවැත්වෙයි.
"මුස්ලිම් විභාග අපේක්‍ෂිකාවන්ට අපි උපදෙස් දීලා තියෙනවා-විභාග ශාලාවට ඇතුල් වීමට පෙර අනන්‍යතාව පරීක්ෂා කිරීම සඳහා මුහුණු ආවරණය ඉවත් කරන්න කියල. ඒ වගේම විභාගයට ලියන කාල සීමාව ඇතුළත මුහුණු ආවරණය ඉවත් කරන්න කියල අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් ඉල්ලීමක් කරලා තියෙනව" අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වේලුසාමි රාධක්‍රිෂ්ණන් බීබීසියට ප්‍රකාශ කළේය.