කළු, නිල්වලා සහ ගිං නගී: පහළ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

Sri Lankan residents make their way through floodwaters in Kaduwela on May 27, 2017. Rainfall on May 26 triggered the worst flooding and landslides in 14 years in the southern and western parts of Sri Lanka, authorities said. The Disaster Management Centre (DMC) said 103 people were confirmed killed while another 113 were missing. / AFP PHOTO / ISHARA S. KODIKARA (Photo credit should read ISHARA S. KODIKARA/AFP/Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කළු, නිල්වලා සහ ගිං යන ගංගාවල පහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාපවාහන හා ගංවතුර පද්ධති පිළිබඳ වාරිමාර්ග අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න පවසයි.

එම ගංගාවල ඉහළ ප්‍රදේශ ආශ්‍රිතව පැවති ගංවතුර කෙමෙන් බැස යාමත් සමග පහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව ඇය වැඩිදුරටත් කියා සිටියේය.

ගිං ගඟේ පහළ ප්‍රදේශ ආශ්‍රිත බද්දේගම, යක්කලමුල්ල, බෝපේ පෝද්දල, වැලිවිටිය-දිවිතුර සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහක ජනතාවට ඉන් ඉවත් වන ලෙස දන්වා ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී කොඩිකාර සඳහන් කළේය.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම, හබරාදුව, අක්මීමණ, බෝපේ පොද්දල සහ රත්ගම යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවීමට සිදු විය හැකි බවත් ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගංවතුර තත්වය හමුවේ වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ ජලය බෙදා හරින පොම්ප පද්ධතිය ගලවා ඉවත් කිරීමට සිදු විය හැකි බවට ගාල්ල ජල හා ජල ප්‍රවාහන මණ්ඩලය අනතුරු අඟවා ඇති බවය.

ඒ හේතුවෙන් හැකි උපරිම මට්ටමින් ජලය රැස් කර තබා ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.

වීඩියෝ ශීර්ෂ වැකිය, ගංවතුර සහ නාය යාම්: ලක්ෂ පහක් අවතැන්

මේ අතර ගිං ගඟේ පිටාර ජලය බද්දේගම නගරයට ඇතුළු වීම වළකාලීම සඳහා යොදා ඇති තාවකාලික වේල්ල කැඩී යාමේ අවදානමක් පැවති බව වාර්තා වේ.

එහි ජල කාන්දුවක් පැවති අතර වාරිමාර්ග ඉංජිනේරු සහ හමුදා කණ්ඩායම් එක්ව ඊට පිළියම් යෙදීමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී කොඩිකාර පැවසීය.

කෙසේ නමුත් පවතින අනතුරුදායක තත්වය හමුවේ එම ප්‍රදේශයෙන් ඉවත්වන මෙන් ඒ ආශ්‍රිතව වෙසෙන ජනතාවගෙන් ගාල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් කමල් රණසිංහ ඉල්ලා සිටී.

වීඩියෝ ශීර්ෂ වැකිය, වෙයන්ගල නාය යාමකින් දරුවන් හය දෙනෙකු මරුට

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත වෙයන්ගල ප්‍රදේශයේ නිවාස සහ මාර්ග සම්පුර්ණයෙන් ගංවතුරට යටව තිබේ.

බෝට්ටු ඔස්සේ සැපයුම් ලැබෙන තෙක් ප්‍රදේශවාසීන් ආරක්‍ෂිත ස්ථානවල රැඳී සිටින ආකාරය දැක ගත හැක.

ගංවතුර සහ නාය යාම් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පනහකට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව තිබේ.

Weyangala, Kaluthara district

වෙයන්ගල ප්‍රදේශයේ නාය යාමකට හසුව දරුවන් හය දෙනෙකු ඇතුළු හත් දෙනෙකු මරණයට පත් විය.

කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජල මට්ටම පහළ යමින් පවතින නමුත් ඉදිරියේ වැසි වැටෙනු ඇති බවට පළ වන වාර්තා හමුවේ ජනතාව බියට පත්ව සිටිති.