ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පිටුවහල් කරන්න එපා: රෝහින්ග්‍යා අනාථයෝ
තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ (IOM) පාලනය යටතට පත්කරන මෙන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ලඟා වූ රෝහින්ග්‍යා අනාථයන් පිරිස ඉල්ලා සිටිති.
ඔවුන්ගේ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස සිකුරාදා (මැයි 19) සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ (UNHCR) නියෝජිතයන් මුණ ගැසෙන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය.
ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ දරමින් සිටියදී නොදැනුවත්ව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වූ රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු පසුගිය අප්‍රේල් 30 වෙනි දින කන්කසන්තුරේ ආසන්න මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.
කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් 16 දෙනෙකු ද ඒ අතර සිටිති.
ඔවුන් වසර පහක් ඉන්දියාවේ දිල්ලි අගනුවර පිහිටි UNHCR ආයතනයේ රැකවරණ ලබා සිට පසුව තමිල්නාඩුවට පැමිණ තිබෙන බව ඔවුන්ගේ නීතිවේදීහු පවසති.
තමිල්නාඩුවේදී ඔවුන්, නීතිවිරෝධී ලෙසින් සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාව බලා පිටත් කරන කණ්ඩායමක පිහිට පතා තිබේ.
ඔවුන් සම්බන්ධ නඩු විභාගය පසුගිය අඟහරුවාදා (මැයි 16) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවුණු අවස්ථාවේ කරුණු දැක් වූ පොලිසිය, ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකිරීමට නීතිපතිවරයා තීන්දු කර ඇතැයි දැනුම් දුන්නේය.
එබැවින් ඔවුන් පිටුවහල් කරන මෙන් නීතිපතිවරයා උපදෙස් දී තිබෙන බවත් පොලිසිය පැවසීය.
නීතිඥ ෂිරාස් නූර්දීන්ගේ උපදෙස් මත ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී ෆයිනාස් මොහමඩ් එහිදී කරුණු දක්වමින් අන්තර්ජාතික සංවිධාන සමග ඔවුන් භාරගැනීම සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය කරන තුරු නඩු විභාගය කල් දමන මෙන් ඉල්ලීමක් කළේය.
කිසියම් ලෙසකින් ඔවුන් මියන්මාරයට පිටුවහල් කෙරුණහොත් එය ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීමක් බව තමන් අධිකරණය ඉදිරියේ පෙන්වා දුන් බව නීතිඥ ෆයිනාස් මොහමඩ් බීබීසී සිංහල සේවයට පැවසීය.
නීතිවේදීන්ගේ ඉල්ලීම සලකා බැලූ යාපන මහේස්ත්‍රාත්වරයා අදාළ කටයුතු සංවිධානය කරගැනීම පිණිස තවත් දින 14 ක කාලයක් ලබා දුන් අතර, එතෙක් ඔවුන් දිගටම මිරිහාන ආගමන විගමන රැඳවුම් කඳවුරේ රඳවා තබන මෙන් බලධාරීන්ට නියෝග කළේය.